ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ගමන් කරන දිශාවට සැබෑ සාක්ෂියක් සපයමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් වසර 24කට පසු මාලදිවයින පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් සටහන් කළේය.
මාලදිවයිනේ මේ දිනවල පැවැත්වෙන දකුණු ආසියානු අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවලියේදී මාලදිවයින ගෝල් 3-2ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා යොවුන් ජාතික කණ්ඩායම මෙම සුවිශේෂි ජයග්‍රහණය සටහන් කළේය.
ශ්‍රී ලංකා හා මාලදිවයින ජාතික කණ්ඩායම් අතර, 2002 අප්‍රේල් 4 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ජයගත් අතර, ඉන් පසුව වසර 24ක් පුරා පැවති තරග 13කදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි විය. අවසන් වරට ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර 20න් පහළ පාපන්දු තරගයක් ජයගෙන ඇත්තේ 2001දී පාකිස්තානයේ පැවති සාෆ් පාපන්දු තරගාවලියේදී සම්පත් පෙරේරා මහතාගේ පුහුණුකාරිත්වය යටතේදීය.
වසර 2009දී ගෝල් 5-1කින් හා වසර 2013දී ගෝල් 10-0කින් ශ්‍රී ලංකාව පරදා මාලදිවයින ජයගත් පසුබිමක මේ නැවත නැඟී සිටීම ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන්ගේ ධෛර්යය වැඩි කරවන්නක් බවට පත්ව තිබේ.
මාලදිවයින ගලොල්හු ජාතික ක්‍රීඩාංගණයේදී පෙරේදා විදුලි ආලෝක ධාරා මැද පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල් 2-0ක් ලෙස මාලදිවයින ඉදිරියෙන් සිටියද, දෙවැනි භාගයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිල ගෝල් 3ක් ලබා ගැනීමට සමත් විය.
28 වැනි මිනිත්තුවේදී හා 45 වැනි මිනිත්තුවේදී මාලදිවයින මැද පෙළ ක්‍රීඩක මොහොමඩ් ඉලාන් ඉම්රාන් ගෝල් දෙක වාර්තා කළ අතර, දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තුවක් ගතවෙද්දී ශ්‍රී ලංකා පිලේ මොහොමඩ් කාතීම් ගෝලයක් ලබා ජයග්‍රාහී ගමන ආරම්භ කළේය. අනතුරුව 63 වැනි මිනිත්තුවේදී අහමඩ් හිජාසී ගෝලයක් වාර්තා කළ අතර, 88 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාවට පිරිනැමුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට හුසේන් අබ්දුල්ලා සමත් විය.
මාලදිවයින් යොවුන් කණ්ඩායම මනා පාලනයකින් යුතුව දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ බවත් මාලදිවයින ඉදිරියේ ලැබූ මේ ජයග්‍රහණය තරගාවලියේ රැඳී සිටීමට වඩාත් උපකාරී වන බවත් ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු ඔගස්ටින් ජෝජ් මහතා ‘දිනමිණ’ට පැවසීය.
“පළමු භාගයේ ඔවුන් ඉදිරියෙන් සිටියා. නමුත් දෙවැනි භාගයේදී අපේ ක්‍රීඩකයන් ප්‍රහාර දියත් කළ විට සියල්ල වෙනස් වුණා. අපේ ක්‍රීඩකයන් කිසි විටෙකත් බලාපොරොත්තු අත්හැරියේ නෑ. කෙටි කාලයක් තුළ ගෝල තුනක් ලබා ගනිමින් තරගයේ ප්‍රතිඵලය ආපසු හැරවීම මේ තරගයේ විශේෂත්වයයි” ඔගස්ටින් ජෝජ් මහතා පැවසීය.
පෙරේදා පැවති තවත් තරගයකදී නේපාලය ගෝල 2-1කින් භූතානය පරාජය කළ අතර, ශ්‍රී ලංකාව හා නේපාලය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.15ට තරග බිමට පිවිසේ. තමන් සහභාගි වූ පළමු තරගයෙන් ජය ලබා සිටින ශ්‍රී ලංකාවට හා නේපාලයට අවසන් පූර්ව වටයට පිවිසීමට මේ තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩයෙන් මේ තරගාවලියට එක්ව සිටින අතර, එහි ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින හා භූතානය රැඳී සිටියි. මේ කණ්ඩායම් අතුරින් හොඳම කණ්ඩායම් දෙක අප්‍රේල් 1දා ආරම්භ වන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. ‘බී’ කාණ්ඩයෙන් බංග්ලාදේශය, ඉන්දියාව හා පාකිස්තානය සිටින අතර, එයින් හොඳම කණ්ඩායම් දෙක අවසන් වටයට පිවිසෙයි.
