ලොව පුරා බිලියන සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් වසර 4ක් පුරා නොඉවසිල්ලෙන් බලා සිටි පාපන්දු වසන්තය උදාකරමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඊයේ මෙක්සිකෝවේදී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා.
රටවල් ත්‍රිත්වයක සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගනයේදීයි.
අමෙරිකා එක්සත් ජනපදයේ , කැනඩාවේ සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙනවා.
මෙවර පැවැත්වෙන්නේ 23 වැනි පාපන්දු ලෝක කුසලානයයි.
එම කිරුල සඳහා කණ්ඩායම් 48 ක් සටන් වදිනවා.
මෙවර තරගාවලියේ සත්කාරක රටවල් ත්‍රිත්වයේදීම සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර එහි පළමුවැන්න මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණේ අසූ දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේදීයි.
මෙක්සිකානු සංස්කෘතික නර්තනයන්ගෙන් හැඩවූ සමාරම්භක උළෙල සංගීතයෙන් රසවත් කිරීමට ලෝ ප්‍රකට ගායන තරු කිහිපයක් එක්ව සිටියා.
එය සුප්‍රකට රොක් කණ්ඩායමක් වන මානා, ජේ බැල්වින් සහ ඇන්ඩ්‍රියා බොචෙලී වැනි දැවැන්තයින්ගේ ඉදිරිපත් කිරිම්වලින් වර්ණවත් වුණා.
එහිදී කාගේත් වැඩිම අවධානයක් දිනාගත්තේ ලෝක ප්‍රකට ගායන ශිල්පිනී ශකීරා මෙවර පාපන්දු ලෝක කුසලානයේ නිල ගීතය ඉදිරිපත් කළ අවස්ථාවටයි.
ඉන් අනතුරුව මෙවර ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් හතලිස් අටේ ධජ ක්‍රීඩාංගණයට රැගෙන එමින් ඉතිහාසයේ විශාලතම ලෝක කුසලානයේ සමාරම්භය සනිටුහන් කළා.
සමාරම්භක උළෙලෙන් අනතුරුව තරගාවලියේ පළමු තරගය සඳහා ඒ කාණ්ඩයෙන් තරග වදින සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම පිටියට පිවිසුණා.
ඒ අනුව සුප්‍රකට මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණය ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 3 කදී සමාරම්භක තරග සඳහා සත්කාරකත්වය සැපයූ ලොව එකම සහ ප්‍රථම ක්‍රීඩාංගණය ලෙස ඊයේ ඉතිහාසයට එක්වුණා.
මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බවුම් සමාරම්භක තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණය තුළට නොපැමිණීම විශේෂත්වයක්.
ඇය ක්‍රීඩාංගණයෙන් පිටත ප්‍රේක්ෂකයින් සඳහා වෙන්කෙරුණු නැරඹුම් ස්ථානයක සිට තරගය නරඹණ ආකාරය දැක්වෙන වීඩියෝවයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.
සමාරම්භක තරගයෙන් ගෝල 2ට 0ක් ලෙස පහසු ජයක් වාර්තා කළේ මෙක්සිකෝ කණ්ඩායමයි.
කෙසේ වෙතත් මෙම තරගයේදී ක්‍රීඩකයන් තිදෙනෙක්ට රතු කාඩ්පත් පෙන්වා තරගයෙන් ඉවත් කෙරුණා.
ඊට දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ මෙක්සිකෝ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුළත්.
ලෝක කුසලාන පාපන්දු තරගයකදී 2006 වසරට පසු එක් තරගයක් තුළ ලබාදුන් වැඩිම රතු කාඩ්පත් ප්‍රමාණය මෙයයි.
මේ අතර සමාරම්භක උලෙල සහ පළමු තරගය පැවති මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ අතර එවන් පසුබිමක ක්‍රීඩාංගණයෙන් පිටත මෙක්සිකෝ රජයට විරෝධය පළ කරමින් විරෝධතා කිහිපයක් පැවැත්වුණා.
ඒහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්වයක් ඇති වූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.
———–
මේ අතර තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ දකුණු කොරියාව සහ චෙකියාව අතරයි.
ඒම තරගය ගෝල 2 ට 1ක් ලෙස ජයගැනීමට දකුණු කොරියාව කණ්ඩායම සමත්වුණා.




