ශ්‍රී ලංකා පාපන්දු පිලට ලක්ෂ 50ක බෝනස්

ෆීෆා මිත්‍රත්ව පාපන්දු තරගයේදී භූතාන පාපන්දු පිල පරාජයට පත් කළ ශ්‍රී ලංකා පාපන්දු පිලට රුපියල් ලක්ෂ 50ක බෝනස් මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කරයි. එම බෝනස් මුදල ක්‍රීඩකයන් 23කට හා පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දසදෙනකු අතරේ බෙදා දෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා ‘දිනමිණ’ට පැවැසීය.

වසර 2ක් වැනි කෙටි කලක් තුළදී ලෝකයේ කණ්ඩායම් 20ක් පසුපසට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙරේදා භූතානය පරදා ලැබූ ගෝල් 4-1ක විශිෂ්ට ජයත් සමඟ නවතම ෆීෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ලකුණු සටහනේ 187 වැනි ස්ථානයට පැමිණීමට ඊයේ සමත් වූවේය. ශ්‍රී ලංකා පිල පියවර 4ක් ඉදිරියට පැමිණෙද්දී පරාජිත භූතාන පිල පියවර 6කින් පහළට ඇද වැටීම විශේෂත්වයකි.

මෙය වසර 11කට පසු ශ්‍රී ලංකාව පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණි අවස්ථාවක්වීම කැපී පෙනෙන අතර, 2024දී ශ්‍රී ලංකා පිල ලෝක ශ්‍රේණිගත කිරීමේ 207 වැනි ස්ථානය දක්වා අඩියටම ඇද වැටී තිබිණි.

ශ්‍රී ලංකා පාපන්දු පිල 2015 වසරේ 191 වැනි ස්ථානයට පත්ව සිටි අතර, 1998දී ජාතික පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 122 වැනි ස්ථානයේ සිටි කණ්ඩායමක් බැවින් එවැනි තත්ත්වයකට යළි ළඟා කිරීම පාපන්දු සම්මේලනයේ සැලසුම වේ.

පෙරේදා භූතානය සමඟ තරගයට ශ්‍රී ලංකා පිලේ ප්‍රබලම ක්‍රීඩකයන් තිදෙනකු සහභාගි නොවූ බව කටාර් ජාතික පාපන්දු පුහුණුකරු අබ්දුල්ලා අල්මුටෙයිරි මහතා පැවසීය. තරගයෙන් අනතුරුව අල්මුටෙයිරි මහතා පැවසුවේ ශ්‍රී ලංකා පිල පෙරේදා භූතානයට එ‍රෙහිව ක්‍රීඩා කළ ආකාරය අනුව දකුණු ආසියානු පාපන්දු ශූරතාව දිනා ගැනීම අපහසු නොවණු ඇති බවය.

“ශ්‍රී ලංකා පිලේ සියලුම ක්‍රීඩකයන් ඉතා හොඳ අන්තර් සබඳතාවකින් ක්‍රීඩා කරනවා. ඉදිරි පෙළ වගේම ආරක්ෂක පෙළ හොඳින් ක්‍රියාත්මක වුණා. ඒ වගේම කිව යුතුයි භූතාන පිලත් හොඳ සටනක් ලබාදුන් බව. ඔවුන් සතුව දක්ෂ මැද පෙළක් සිටිනවා. කොහොම වුණත් ශ්‍රී ලංකා පිල හැම විටම ඉදිරියෙන් සිටියා” පුහුණුකරු අබ්දුල්ලා අල්මුටෙයිරි මහතා පැවසීය.

  • ප්‍රින්ස් ගුණසේකර – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *