ශ්‍රී ලංකාව අවසන් මොහොතේ ගෞරවය බේරාගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ශ්‍රී ලංකාව එම තරගය ජයගත්තද තරග 2 ට 1ක් ලෙස තරගාවලිය ජයගත්තේ පාකිස්තානයයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරග තුනකින් සමන්විත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක පාකිස්තානය ජයගෙන තිබූ පසුබිමක ගෞරවය රැකගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවසන් තරගය හෝ ජයගැනීම ඉතා වැදගත් වුණා.

රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 168ක් පමණයි.

පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 21ට කඩුලු තුනක් දවාගත් අතර නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු දෙක බැගින් දවාගත්තා.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් සිය වගකීම් ඉටුකළ එකම තරගය මෙයයි.

ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ලහිරු උදාර දවාගැනීමට මොහොමඩ් ඉම්රාන් සමත්වුණේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 15ක් ලෙස සටහන් වනවිටයි.

අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් , සිනෙත් ජයවර්ධන සමඟ එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් ගොඩ නැගුවා.

සිනෙත් ජයවර්ධන ලකුණු 38ක් රැස්කරගෙන සිටියදී දැවීගියාා.

සිනෙත්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් ශ්‍රි ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවූයේ ලකුණු 98ක් නොබිඳුනු සබඳතාවක් ගොඩනගමින්.

කුසල් මෙන්ඩිස් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 21 වැනි අර්ධ ශතකය සමඟින් නොදැවි ලකුණු 87ක් රැස්කළා.

කමිඳු මෙන්ඩිස් නොදැවි ලකුණු 40යි.

ශ්‍රී ලංකාව පන්දුවාර 17යි එක් පන්දුවකදී කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකරගියා.

ඒ අනුව තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ එක් තරගයක් ජයගනිමින් ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලිය පරාජයකින් ගැලවුණා.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් හිමිකරගත්තා.

මේ අතර පාකිස්තානය,ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය එළඹෙන ඉරිදා ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *