ශ්‍රී ලංකා ක්‍රිකට් පාකිස්තානයේදී පරාජයකට පරිවර්තනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වත්මන් ජාත්‍යන්තර 20යි 20 තරග රටාවට කොතෙක් දුරට සුදුසුද යන ප්‍රශ්නාර්ථය යළි මතුකරමින් පාකිස්තානය හමුවේ තවත් අවමන් සහගත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

දෙරට අතර පැවති දෙවන 20යි 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ලකුණු 82කින්.

පාකිස්තාන ප්‍රේක්ෂකයන්ගෙන් පිරීගිය රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ඊයේ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළා.

ඒ අනුව නායක සහිබ්සාදා ෆර්හාන් සහ ෆකාර් සමාන් පාකිස්තාන ඉනිම ඇරඹුවා.

පාකිස්තාන ඉනිම ආරම්භයේදීම සාහිබ්සාදා ෆර්හාන් ලබාදුන් උඩපන්දු දෙකක් මහීෂ් තීක්ෂණ සහ සිනෙත් ජයවර්ධන අතින් ගිලිහී ගියේ පාකිස්තාන පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට තිබූ අවස්ථාව අහිමිකරමින්.

ඒ අවසරයෙන් සාහිබ්සාදා ෆර්හාන් පන්දු 44කින් වේගවත් ලකුණු 73ක් රැස්කරමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා.

ෆර්හාන්ගේ දැවීයාමෙන් පසු පාකිස්තාන ඉනිම ගොඩනැගීමේ වගකීම සියතට ගත් යොවුන් ක්‍රීඩක මාස් සඩාකට් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 200 සීමාව කරා රැගෙන යාමට සමත් වුණා.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ මාස් සඩාකට් පන්දු 51කින් ලකුණු 96ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ දැවැන්ත හයේ පහර 7කින් වර්ණවත් වුණා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 3ක් දැවී ලකුණු 215ක් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

පාකිස්තානය රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වූයේ පාකිස්තාන කණ්ඩායමක් සිය මව්බිමේදී ජාත්‍යන්තර 20යි 20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ලකුණු 216ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අඳුරේ අතපත ගාන්නක් මෙන් පිතිකරණයේ නිරත වෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 133ක් පමණයි.

ඒ අනුව ඊයේ ලැබූ අවමන් සහගත පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානය සමග පැවති 20යි 20 තරගාවලිය පරාජයට පත්වුණා.

2026 වසර තුළ ශ්‍රී ලංකාව සහභාගි වූ 20යි 20 තරග 24න් පරාජයට පත්වූ 18වැනි තරගය මෙයයි.

එමෙන්ම ශ්‍රී ලංකාව අඛණ්ඩව පරායට පත්වූ 6වැනි 20යි 20 තරගාවලිට ලෙසද මෙම තරගාවලිය සටහන් වනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මෙලෙස අදහස් පළකළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *