අමෙරිකාවේදී සහ කොදෙව් හිදී පැවති 20-20 ලෝක කුසලානය ශ්රී ලංකාවට ඉතා අමිහිරි මතක රැසක් පිරි තරගාවලියක්.එම තරගාවලියේදී ශ්රී ලංකා ක්රීඩකයන්ගේ දස්කම් ඉතා ප්රාථමික මට්ටමක පැවතුණා.
මේ කතාව 20-20 ලෝක කුසලානයට ගොස් ශ්රී ලංකාවේ සල්ලි නිකරුණේ නාස්ති කළ ක්රීඩකයෙක් ගැනයි.
20-20 ලෝක කුසලාන සංචිතය සඳහා ක්රීඩකයින් 15 දෙනෙක් නම් කළ අතර ඊට අමතරව තවත් අතිරේක ක්රීඩකයින් සිව්දෙනෙක් සංචිතයට නම් කළා.ඊට හේතුව ප්රධාන සංචිතයේ ක්රීඩකයෙක් හදිසියේ අසනීප වුවහොත් තවත් ක්රීඩකයෙක් ආදේශ කිරීමට ශ්රී ලංකාවේ සිට අමෙරිකාව වෙත ක්රීඩකයින් ගෙන්වා ගැනීම අපහසුවීමයි.
මෙම අතිරේක ක්රීඩකයන් සිව්දෙනා වූයේ විජයකාන්ත් වියස්කාන්ත්, ජනිත් ලියනගේ, භානුක රාජපක්ෂ සහ අසිත ප්රනාන්දුයි.මෙම ක්රීඩකයින් සිව්දෙනා සෑමවිටම සූදානමින් සිටිය යුතු වූයේ ප්රධාන සංචිතයේ ක්රීඩකයෙක් ආබාධයකට ලක්වුවහොත් ආදේශ කිරීමටයි.එම නිසා ඔවුන් සිව්දෙනා ප්රධාන සංචිතයේ ක්රීඩකයින් මෙන්ම සෑම විටම පුහුණුවීම්වල නිරතවිය යුතුව තිබුණා.
කණගාටුවට කරුණ නම් අපගේ කතානායකයාවන ක්රීඩකයා ලෝක කුසලානය පුරාවටම නිසි ආකාරයෙන් පුහුණුවීම්වල නිරත නොවීමයි.ඔහු ශ්රී ලංකා පිලේ මැදපෙළ පිතිකරුවෙක්.ඒ අනුව ඔහු පුහුණු විකට්ටුවල පන්දුවට පහරදීම සිදුකළ යුතුයි.ප්රධාන සංචිතයේ පිතිකරුවන් නිසා ඔහුට පහරදීමට අවස්ථාව නොලැබුණා කියා කිසිවෙකුට හෝ පැවසිය හැකියි.නමුත් සෑම ක්රීඩකයෙක්ටම අනිවාර්ය නොවූ පුහුණු සැසි කිහිපයක්ම මෙවර ලෝක කුසලානයේදී ශ්රී ලංකාව පැවැත්වූවා.ඔහු කැපවීමක් සහිත ක්රීඩකයෙක් නම් ඔහුට එම පුහුණු සැසිවලට පැමිණීමට තිබුණා.නමුත් අනෙක් අතිරේක ක්රීඩකයින් එම සැසිවලට පැමිණෙද්දී ඔහු විවේක සුවයෙන් කාලය ගතකර තිබුණා.
ලෝක කුසලානය පුරාවටම මෙම ක්රීඩකයා පිත්තක් අතට ගෙන පුහුණුවීම්වල නිරත වුණේ නැහැ.ඔහු සෑම විටම සිදුකළේ පුහුණු උපදේශකවරයෙක් ලෙස හැසිරෙමින් අනෙක් ක්රීඩකයන්ට උපදෙස් දීමයි.ඔහුගේ තරබාරු සිරුර සහ ඉදිරියට නෙරා ආ උදරය වනමින් ඔහු ක්රීඩාංගණයේ ඔබමොබ ඇවිදිමින් කියවමින් කාලය ගතකර තිබෙනවා.
ක්රීඩකයෙක්ට නොගැලපෙන සිරුරකින් හෙබි මෙම ක්රීඩකයා ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කළේ ඇයිද යන්න ප්රශ්ණාර්ථයක්.අනෙක් අතිරේක ක්රීඩකයින් තිදෙනාම සෑම පුහුණු සැසියකදීම කැපවීමෙන් පුහුණුවීම් කරද්දී මෙම ක්රීඩකයා පමණක් කිසිවක් නොකර උජාරුවට බලා සිට තිබෙනවා.
ඔහු සහභාගී වී තිබුණේ සෑම ක්රීඩකයෙක්ම සහභාගී වූ පන්දු රැකීමේ සැසිවලට සහ ඇග උණුසුම් කරගැනීම සඳහා කණ්ඩායම ක්රීඩාකරන පාපන්දු තරගවලට පමණයි.
ලෝක කුසලානය වැනි තරගාවලියකට මෙවන් කිසිඳු වැඩකට නැති ක්රීඩකයන් රැගෙන නොගොස් තරුණ ක්රීඩකයෙක් රැගෙන ගියේ නම් ඔහුට අවම වශයෙන් අත්දැකීමක් හරි හිමිවනවා.මෙම ක්රීඩකය ඉඳහිට ලීග් තරගවල හොඳ ඉනිමක් ක්රීඩාකර ඔහුගේ වියදමින්ම සමාජ මාධ්යවල ඔහුව පුම්බා ගන්නා ක්රීඩකයෙක්.
එම දහම් ගැටවලට අසුවන ප්රේක්ෂකයන් ඔහුව ජාතික කණ්ඩායමට එක් කරගත යුතුයැයි සමාජ මාධ්යවල හෑලි ලියන ආකාරය අප දැක තිබෙනවා.තම සිරුර ගැනවත් නොසිතන මෙම ක්රීඩකයා කණ්ඩායම ගැන සිතයි කියා සිතීමට අපහසුයි.විවිධ ආගමික විස්වාස පසුපස යමින් අනෙක් ක්රීඩකයන්ටත් වැරදි ආදර්ශ දෙන මෙවන් ක්රීඩකයන්ට යලි ජාතික කණ්ඩායමේ ඉඩක් ලබානොදිය යුතු බව අපගේ අදහසයි.
තේරීම් කමිටුවත් සමාජ මාධ්ය දෙස බලා, ඒවායින් එන පීඩන නොසලකා දක්ෂතා පිරි අනාගතයට ආයෝජනයක්වන ක්රීඩකයින් පමණක් ජාතික සංචිතවලට ඇතුලත් කළ යුතුයි.
