බලතණ්හාව නිසා දැල්පන්දුවත් දෙදරයි – (VIDEO)

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ ඉදිරි නිලවරණය නීත්‍යනුකූල එකක් නොවන බව රාජ්‍ය සේවා නෙට්බෝල් සංගමයේ සභාපතිනි හා හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිනි ට්‍රික්ස් නානායක්කාර මහත්මිය චෝදනා කරනවා.

ක්‍රීඩා නීතිය හා නෙට්බෝල් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මේ 25 වැනිදා පැවැත්වීමට සූදානම්වන නිලවරණය වහාම නවතා දමා සුදුසු පරිදි එය පවත්වන ලෙස ක්‍රීඩා ඇමැතිවරයාගෙන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නානායක්කාර මහත්මිය ඉල්ලා සිටිනවා.

හිටපු නෙට්බෝල් නිලධාරිනියන් විසින් නෙට්බෝල් මහා සභාවේ සම්මත නොවූ වාර්තාවක් නිලවරණ කමිටුවට ලබාදී නිලවරණ කමිටුව නොමඟ යවා ඇතැයි ඇය චෝදනා කළාය. එම ව්‍යාජ වාර්තාව මඟින් ඇතැම් අනුබද්ධ සංගම්වල තරග පැවැත්වීම හා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බොරු තොරතුරු නිලවරණ කමිටුවට ලබාදී නිලවරණය නීත්‍යනුකූල නොවන තත්ත්වයකට පත්කොට ඇතැයි ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළා.

“ව්‍යවස්ථාව කඩ කරන්න කාටවත් බෑ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. මා මේ කරුණු ඉදිරිපත් කරන්නේ බලය වෙනුවෙන් නොවෙයි. මා කිසිම තනතුරකට තරග කරන්නේ නෑ. නමුත් හිටපු සභාපතිනියක් හා ශ්‍රී ලංකා නෙට්බෝල් නායිකාවක් නිසා ක්‍රීඩාව පිළිබඳ වේදනාවක් තියෙනවා. නෙට්බෝල් ක්‍රීඩා නොකරපු අය පරිපාලනයට ඇවිත් අද නෙට්බෝල් ක්‍රීඩාව විනාශ කරනවා” නානායක්කාර මහත්මිය පැවසුවා.

මෙවර නෙට්බෝල් නිලවරණයේදී ලියාපදිංචි සංගම් 32කින් සංගම් 10ක ඡන්ද බලය අහිමි කිරීම ද ඇයගේ දෝෂදර්ශනයට හේතු වුණා.

“අත්සන් ලේඛනය ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත වැඩිම ක්‍රියාකාරීත්වයක් ඇති වෙළෙඳ සේවා නෙට්බෝල් සංගමයේ ඡන්දය අහෝසි කොට තිබෙනවා. අපි ජාතික සමගිය ගැන කතා කරනවා. ඒත් යාපනය නෙට්බෝල් සංගමයට ඡන්ද අයිතියදී නෑ. මෙයට පෙර නිලවරණය කල්දැමීමට හේතුවත් යාපනය නියෝජිතවරිය ප්‍රතික්ෂේප වීමයි. ක්‍රියාකාරී කොළඹ දිස්ත්‍රික් හා කළුතර දිස්ත්‍රික් නෙට්බෝල් සංගම්වලට ඡන්ද බලයත් අහිමි කරලා. අම්පාර, යාපනය, මාතලේ, මාතර, නුවරඑළිය, වව්නියාව හා නිදහස් වෙ‍ෙළඳ කලාපය යන සංගම්වලටත් ඡන්ද අයිතිය නෑ. මගේ ඡන්ද අයිතිය තියෙනවා. ඒ වුණත් අනෙක් සංගම් කළ කැප කිරීම් අමතක කරන්න බෑ” නානායක්කාර මහත්මිය සඳහන් කළා.

මෙවර නෙට්බෝල් සභාපති තනතුරට තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය හා වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය නාමයෝජනා ලබාදී ඇත. ඊයේ පැවති මාධ්‍ය හමුවට තමාරා ධර්මකීර්ති මහත්මියට සහයෝගය පළ කරමින් හිටපු නෙට්බෝල් නායිකාවන් 7ක් පමණ එක්ව සිටීම කැපී පෙනුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *