ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලිග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සහ කණ්ඩායම්වල සංචිත අද නිවේදනය කළා.
තරගාවලිය ජනවාරි 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
මාස 4කට අසාන්න කාලයක් දිවයන මෙවර තරගාවලියට කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවත්වෙනවා.
මෙවර තරගාවලියට මුලික තරග 20ක් ඇතුලත්වන අතර ඉන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අප්‍රෙල් මස 30 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනවා.
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රිඩාංගණ 3ක් පුරා පැවැත්වීමට සැලසුම කර ඇති අතර එම ක්‍රිඩාංගණ වන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රිඩාංගණය, කොළඹ SSC ක්‍රිඩාංගණය සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයයි.
මේ අතර නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රිඩා කරන කණ්ඩායම් හතරේ නායකයින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
ඒ අනුව ගාල්ල කණ්ඩායමේ නායකත්වය රමේෂ් මෙන්ඩිස්ට හිමි වෙද්දි උප නායකත්වය හිමිවී තිබෙන්නේ දුනිත් වෙල්ලාලගේටයි.
පැතුම් නිස්සංකට මහනුවර කණ්ඩායමේ නායකත්වය හිමි වී තිබෙන අතර සහන් ආරච්චිගේට උප නායකත්වය හිමි වී තිබෙනවා.
දඹුල්ල කණ්ඩායමේ නායකත්වය හිමි වී තිබෙන්නේ කමිඳු මෙන්ඩිස්ටයි.
මිනෝද් භානුකට දඹුල්ල කණ්ඩායමේ උප නායකත්වය හිමි වී තිබෙනවා.
ධනංජය ද සිල්වා යාපනය කණ්ඩායමේ නායකත්වය දරන අතර උප නායකත්වය දරන්නේ සධීර සමරවික්‍රමයි.
