ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලද ජයත් සමඟ තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය ද තරග දෙකට බිංදුවක් ලෙස ජය ගත්තා.
දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා.
අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් නිෂාන් මදුෂ්ක වෙනුවට නුවනිදු ප්‍රනාන්දුව කැඳවා තිබුණා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 277ක්.
බෙන් කරන් ලකුණු 79ක් සහ අවසන් මොහොතේ ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ සිකන්දර් රාසා නොදැවී ලකුණු 59ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලුවා.
ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමගින් නුවනිදු ප්‍රනාන්දු.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 14කට දැවී යද්දී අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 5කට සීමාවුණා.
කෙසේ වෙතත් තුන්වැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩනැගු පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කළා.
එම සබඳතාව බිඳ වැටුණේ සදීර සමරවික්‍රම ලකුණු 31කට දැවී යාමත් සමඟයි.
සිව්වැනි කඩුල්ලට ද ලකුණු 90ක සබඳතාවක් ගොඩනැගු පැතුම් නිස්සංක සහ නායක චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.
ඒ අතර වාරයේදී සිය එක්දින දිවියේ 7 වැනි එක්දින ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක ලකුණු 122කට දැවී ගියා.
නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ චරිත් අසලංක ලකුණු 71යි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියා.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ පැතුම් නිස්සංක.
