සුපිරි පන්දුවාර දෙකක් යැවූ සුපිරි තරගය

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පළමු වරට තරගයක ජයග්‍රාහී කණ්ඩායම තෝරාගැනීම සඳහා සුපිරි පන්දුවාර අවස්ථා දෙකක් ක්‍රියාත්මක කිරීමට ඊයේ සිදුවුණා.

ඒ ඉන්දියා – ඇෆ්ගනිස්තාන තුන්වන 20යි 20 තරගයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුළු 4 ලකුණු 22ක් තුළ බිඳ වැටුණා.

නමුත් පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ රෝහිත් ෂර්මා සහ රින්කු සිං ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පන්දු 93කදී ලකුණු 190ක විශිෂ්ට නොබිඳුණු සබඳතාවක් ගොඩනැගීමට සමත්වුණා.

එම සබඳතාව වාර්තා පොත් අලුත් කළේ 20යි 20 තරගයකදී ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැගූ ඉහළම සබඳතාව ලෙසයි.

සිය පස්වන 20යි 20 ශතකය රැස්කළ නායක රෝහිත් ශර්මා පන්දු 69කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 121යි.

රින්කු සිං පන්දු 39කදී ලකුණු 69ක් රැස්කළා.

ලකුණු 213ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තානය කණ්ඩායම පන්දුවාර 19ක් අවසන් වනවිට කඩුළු 6ක් දැවී ලකුණු 194ක් රැස්කරගෙන සිටි අතර ඒ අනුව අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 19ක්.

නමුත් ගුල්බදීන් නයිබ් අවසන් පන්දුවාරයේදී ලකුණු 18ක් පමණක් රැස්කිරීම හේතුවෙන් කණ්ඩායම් දෙකේම ලකුණු සමවුණා.

ඒ අනුව තරගයේ ජයග්‍රාහී කණ්ඩායම තෝරාගැනීම සඳහා සුපිරි පන්දුවාරයක් යොමු කිරීමට සිදුවුණා.

සුපිරි පන්දුවාරයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස්කළ අතර ඉන්දියාවටද සුපිරි පන්දුවාරයේදි රැස්කරගත හැකිවූයේ ලකුණු 16ක් පමණයි.

ඒ අනුව නැවතත් තරගයේ ලකුණු සමවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පළමු වරට ජයග්‍රාහී කණ්ඩායම තෝරාගැනීම සඳහා දෙවන සුපිරි පන්දුවාර අවස්ථාව ක්‍රියාත්මක කිරීමට සිදුවුණා.

දෙවන සුපිරි පන්දුවාරයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත කඩුළු 2 දැවී ලකුණු 11ක් රැස්කරගත් අතර පිලිතුරු ලෙස ඇෆ්ගනිස්තානයට දෙවනි සුපිරි පන්දුවාරයේදී නියමිත කඩුළු දෙක දැවී රැස්කරගත හැකිවූයේ එක් ලකුණක් පමණයි.

ඒ අනුව ඉතිහාසගත වූ එම තරගය දෙවනි සුපිරි පන්දුවාරයේදී ජයගත් ඉන්දියාව තරගාවලිය 3ට 0ක් ලෙස ජයගත්තා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී සුපිරි පන්දුවාර දෙකක් යොමුකළ අවස්ථාවක් මීටපෙර වාර්තා නොවූ අතර සුපිරි පන්දුවාර දෙකක් යොමුකළ එකම එක් අවස්ථාවක් මීටපෙර වාර්තා වූයේ 2020 වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර තරගයේදී පමණයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *