ජාතික ඔලිම්පික් කමිටු නිලවරණ ඉතිහාසයේ විශාලතම පිල් බෙදීම තහවුරු කරමින් ඔලිම්පික් කමිටු සභාපති තනතුරට පස් දෙනකු නාමයෝජනා ලබා දී ඇත. ඉතිහාසය පුරා මෙතෙක් පැවති ඔලිම්පික් නිලවරණවලදී සභාපති තනතුරට උපරිම පුද්ගලයින් දෙදෙනකු තරග වැදී ඇති අතර, මෙවර සංගම් 5ක් නියෝජනය කරමින් සභාපති තනතුර ලබා ගැනීම උදෙසා විශාල ඉල්ලුමක් පවතී.
ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරු 11කට නිලධාරීන් පත්වන අතර, ඒ සඳහා නාමයෝජනා 34ක් ඉදිරිපත්ව විශාල තරගයක් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.
වසර අටක් අඛණ්ඩව සභාපති තනතුරේ සේවය කිරීමෙන් පසු, වත්මන් ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සංශෝධිත ක්‍රීඩා පනතට අනුව යළි තරග නොකරන අතර, ඒ මහතා තනතුරෙන් ඉවතට යද්දී මෙම පිල් බෙදීම ආරම්භ වී ඇත. වසර 22ක් ඔලිම්පික් කමිටු සභාපති ධුරය දැරූ හේමසිරි ප්‍රනාන්දු මහතා තරගයකින් තොරව එම තනතුරේ කටයුතු කළ අතර, එයින් පසු නිලවරණ දෙකකදී සභාපති තනතුරට දෙදෙනකු අතර තරගයක් තිබුණි.
මෙවර ඔලිම්පික් නිලවරණයේදී සභාපති තනතුරට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර්, වත්මන් උප සභාපති හා ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ උප සභාපති ශිරන්ත පීරිස්, වත්මන් උප සභාපති හා ස්කී සහ ස්නෝබෝඩ් සම්මේලනයේ සභාපති දේවා හෙන්රි, බේස්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න, කැනොයින් හා කායකින් සංගමයේ සාමාජික රොහාන් ප්‍රීති විරාජ් පෙරේරා යන මහත්වරු නාමයෝජනා ලබා දී සිටිති.
මෙයින් අසංග සෙනෙවිරත්න හා ප්‍රීති විරාජ් පෙරේරා යන මහත්වරු අවසන් මොහොතේදී සිය සභාපති නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමේ සූදානමකින් පසුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ. මේ දෙදෙනාම මෙවර ඔලිම්පික් කමිටු නිලවරණයේ උප සභාපති තනතුර සඳහා ද නාමයෝජනා ලබා දී ඇති හෙයින් ඒ වෙනුවෙන් සිය අවධානය යොමු කරමින් පවතී.
මෙවර ඔලිම්පික් කමිටු මහ ලේකම් තනතුරට ශ්‍රී ලංකා පිහිනුම් සංගමයෙන් ෆවුමි මොහොමඩ් රිෆ්ඩි මහතා හා නූතන පංච ප්‍රයාම සංගමයේ සභාපති නිශාන්ත පියසේන මහතා නාමයෝජනා ලබා දී ඇත. භාණ්ඩාගාරික තනතුරට රග්බි සංගමයේ නොමාල් ඒකනායක මහතා නාමයෝජනා ලබා දී තිබූ අතර, එය ප්‍රතික්ෂේප වී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුව තුළ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 32ක් තිබුණද, ජිම්නාස්ටික්, ටේබල් ටෙනිස්, බොක්සිං හා පාපැදි යන සංගම්වල පවතින අර්බුද හමුවේ වලංගු ඡන්ද දායකයන් ගණන 28කට සීමාවී ඇත. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම පසුගිය 11දා පස්වරු 4ට අවසන් වූ අතර, නාමයෝජනා සම්බන්ධ විරෝධතා භාර ගැනීම අදින් අවසන් වේ.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා ඇතුළු නිලවරණ කමිටුව නිලවරණ කටයුතු මෙහෙයවනු ලබන අතර, එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හර්ෂ අමරසේන හා පියසේන රණසිංහ යන මහත්වරු කටයුතු කරති. ඔලිම්පික් නිලවරණය මේ මස 25 වැනිදා පස්වරු 4ට ඔලිම්පික් නිවහනේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
– ප්‍රින්ස් ගුණසේකර
