ස්විට්සර්ලන්තයේ ජිනීවා ජිම්නාස්ටික් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරතවන, ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන සොලෙයි නදීන්‍යා ටවුෂර් (Soleil Nadinya Tauscher) සහ ලුනා දුරංගි ටවුෂර් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වුණා.
ජර්මානු ජාතික ගෙරාඩ් ටවුෂර් සහ ශ්‍රී ලාංකික ජාතික ලුවිනී රණසිංහ යන අයගේ දියණියන් වන මෙම ක්‍රීඩිකාවන් දෙපළ අතුරින් 10 හැවිරිදි සොලෙයි ටවුෂර්, 2026 ස්විට්සර්ලන්ත ජාතික ශූරතාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් අවුරුදු 11න් පහළ ජාතික ශූරතාව හිමිකර ගත්තා.
ඇගේ 8 හැවිරිදි නැඟී එන සොහොයුරිය වන ලුනා ටවුෂර් ද ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉහළ දක්ෂතා දක්වමින් සිටින අතර ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින මෙම ක්‍රීඩිකාවන් දෙපළ ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග බිමට පිවිසීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා හට මෙහිදී සිය කැමැත්තද ප්‍රකාශ කළා.
මව්බිමට කීර්තියක් අත්කර දීම සඳහා ඉදිරිපත් වූ මෙම ක්‍රීඩිකාවන්ගේ තීරණය අගය කළ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසීම සාදරයෙන් පිළිගන්නා බවත්, ඒ සඳහා අමාත්‍යාංශය මගින් අවශ්‍ය සියලුම සහයෝගයන් ලබා දෙන බවත් සහතික වුණා.
