ශ්‍රී ලංකාවට පල්ලේකැලේදී 20-20 පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා රාත්‍රී 8.40ට තරගය ආරම්භ කෙරුණේ එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කරමින්.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරධනා කළා.

ශ්‍රී ලංකා ආරම්භ කඩුල්ලේ සබඳතාව ලකුණු 24කට සීමා වූ අතර පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් 2වැනි කඩුල්ලට පන්දු 28කදී ලකුණු 52ක සබඳතාවක් ගොඩනැගූවා.

ලකුණු 23ක් රැස්කරගෙන සිටි පැතුම් නිස්සංක දැවීයාමෙන් පසු පිටියට පිවිසි ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වගකීම් විරහිත දුර්වල ක්‍රීඩා විලාශයක නිරතවුණා.

මෙම තරගයේදී සෑම් කරන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වුණේ එංගලන්තය වෙනුවෙන් 20 -20 කඩුලු ත්‍රිත්වයක් දවාගත් දෙවැනි පන්දු යවන්නා බවට පත්වෙමින්.

නැට්

ඒ අනුව ශ්‍රී ලංක කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 133ක් පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 37ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 20යි.

ලකුණු 134ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 17කින් ලකුණු 36ක සබඳතාවක් ගොඩ නැගීමට ජොස් බට්ලර් සහ පිල් සෝල්ට් සමත්වුණා.

පිල් සෝල්ට් ලකුණු 46ක් රැස්කළා.

මෙම තරගයේදිත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් උඩපන්දු දෙකක් මෙලෙස අත්හැරුණා.

තරගය අතුරතුර නැවතත් වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තය ජයග්‍රහණය වෙනුවෙන් රැස්කරගත යුතුව තිබුණේ ලකුණු 114ක්.

ඒ වනවිට එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 125ක් රැස්කරගෙන සිටි බැවින් ලකුණු 11ක ජයක් එංගලන්තය සතුවුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 1 ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව සිටිනවා.

දෙරට අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *