ජොකොවිච් තවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවකට ළංවෙයි

ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහ තරගයේ තම ස්ථානය තහවුරු කරගැනීමට සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත්වුණා.

අවසන් මහා තරගයේදී ජොකොවිච් ,ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් සමඟ තරග වැදීමට නියමිතයි.
සුවහසක් ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තුවෙන් සිටි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඊයේ පැවැත්වුණේ හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ මේවනවිට ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන ඉතාලියේ යැනික් සීනර් අතරයි.

දහසක් ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් මධ්‍ය යේ ඇරඹි අවසන් පූර්ව තරගය ඉතා තියුනු මුහුණුවරක් ගත්තා.

තරගයේ පළමු වටය ලකුණු 6 ට 3ක් ලෙස සීනර් ජයගත් අතර තරගයේ දෙවන වටය ජයගත්තේ 6 ට 3ක් ලෙස ජොකොච්.

39 හැවිරිදි ජොකොවිච් සහ 24 හැවිරිදි සීනර් අතර පැවති අවසන් පූර්ව වටයේ තුන්වන වටය නැවතත් සීනර් ජයග්තතේ තරගයේ ජය දෙදෙනා අතරම දෝලනය කරමින්.

ප්‍රේක්ෂකාගාරය පවා මවිතයට පත්ව සිටින අවස්ථාවේදී අවසන් වට දෙකම ලකුණු 6 ට 4ක් ලෙස ජයගැනීමට අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන ජොකොවිච් සමත්වුණා.

ඒ් අනුව වට 5කින් සමන්විත වූ අවසන් පූර්ව වටය වට 3 ට2 ක් ලෙස ජයගත් ජොකොවිච් අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තා.

ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් පිටියේ සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා ලෙස සැළකෙන සර්බියාවේ නොවැක් ජොකොවිච් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් 11 වැනි අවස්ථාව මෙයයි.

ඒ් අතර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත් ලොව වයස්ගතම ක්‍රීඩකයා ලෙසත් ජොකොවිච් වාර්තා අතරට එක්වුණා.

ජොකොවිච් මේවනවිට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ළෑම් ටෙනිස් ශූරතා ගණනක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා වනවා.

ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය නොවැක් ජොකොවිච් සහ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් අතර එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *