වසර 27කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා.
ඒ බ්‍රිස්බේන් හිදි පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කරමින්.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුනේ බ්‍රිස්බේන්හිදියි.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 311ක් රැස් කිරීමට සමත් වූ අතර ඔස්ට්‍රේලියා පිල පළමු ඉනිමට ලකුණු 289ක් රැස් කිරීමට සමත්වුණා.
ලකුණු 22ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායම දෙවැනි ඉනිමට රැස් කළේ ලකුණු 193ක් පමණයි.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 216ක්.
අද සිවුවන දිනය ආරම්භ කරන විට එම ඉලක්කය හඹා යන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලබා සිටියා.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 156ක් අවශ්‍යව තිබූ අතර ඔවුන් අතැතිව තිබූ කඩුලු සංඛ්‍යාව 8ක්.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා දෙවනි ඉනිම සුණුවිසුනු කළ 24 හැවිරිදි ශේමර් ජෝසප් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන් සිය කණ්ඩයාමට ඓතිහාසික ජයක් රැගෙන ඒමට සමත්වුණා.
ඒ අනුව ලකුණු 216ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට දෙවැනි ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 207ක් පමණයි.
හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 91ක් රැස්කළ අතර සුපිරි පන්දුයැවීමක නිරත වූ ශේමර් ජෝසප් කඩුලු 7ක් දවා ගත්තා.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කිරීමට කොදවේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කළේ වසර 27කට පසුවයි.
ඔවුන් අවසන් වරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන තිබුණේ 1997 වසරේදීයි.
ඒ අනුව තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 1ට1ක් ලෙස ජය පරායෙන් තොරව අවසන් වූ වූ අතර දෙවන ටෙස්ට් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කොදවේ වේගපන්දු යවන ක්‍රීඩක ශේමර් ජෝසප්.
