ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පියවර ගත්තා.
ඒ මාස දෙකකට අධික කාලයකට පසුවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තහනමක් පැනවූයේ පසුගිය වසරේ නොවැම්බර් 10 වැනිදායි.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ එහි නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව පවසමින්.
එමෙන්ම එම ක්‍රිකට් තහනම පැනවූයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කළ පසුබිමකයි.
මෙම ක්‍රිකට් තහනම පැනවීම හේතුවෙන් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයද ශ්‍රී ලංකාවට අහිමි වී ගියා.
උද්ගත වූ තත්වය හමුවේ රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කෙරුණා.
ඒ අනුව ක්‍රිකට් තහනම ඉවත් කිරීම සඳහා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඉකුත්දා සාකච්ඡා ආරම්භ කළ අතර එම කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා මෙරටට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගද ඒ පිළිබඳ සාකච්ඡා කළා.
එහිදී ප්‍රධාන විධායක නිලධාරිවරයා ක්‍රිකට් තහනම ඉවත් කිරීමට එකඟතාව පළ කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.
ඒ අනුව මාස දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පියවර ගත්තා.
ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය, නියාමනය හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් නොමැති බවට ශ්‍රී ලංකා රජය සහතික වීමත් සමගයි.
