අඛණ්ඩව තුන්වැනි වරටත් ජාතික මේස පන්දු ශූරිය ලෙස කිරුළු පැලඳීමට මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර සමත්වුණා.
ඒ 77 වැනි ජාතික මේසපන්දු ශූරතා තරගාවලියේදීයි.
මෙවර 77 වැනි ජාතික මේසපන්දු තරගාවලිය ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ සංවිධානයෙන් පැවැත්වුණේ මහනුවර නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදීයි.
මෙවර තරගාවලියට ක්‍රීඩකයින් 144 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 88 දෙනෙකු සහභාගි වුණා.
විවෘත කාන්තා කේවල අවසන් තරගයේදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ තමාදි කාවින්ද්‍යා වට 4-1කින් පරාජය කරමින් හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර මෙවර ශූරිය බවට පත්වුණා. ඇය අඛණ්ඩව එම ශූරතාව දිනා ගත් තුන්වැනි අවස්ථාව මෙයයි.
මෙවර තරගාවලියේ පිරිමි විවෘත කේවල ශූරතාව දිනා ගැනීමට සුපුන වරුසවිතාන සමත් වූ අතර, ඔහු හමුවේ අවසන් තරගයේදී පරාජයට පත් වුණේ ප්‍රසාද් ද සිල්වා.
සුපුන වරුසවිතාන පිරිමි විවෘත කේවල ශූරතාව දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.
සුපුන අවසන් පූර්ව වටයේදී පසුගිය වසරේ ජාතික ශූරයා වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චමීර ගිනිගේට එරෙහිව වට 4-1ක් පහසු ජයකින් අවසන් තරගයට එක්වීම කැපී පෙනුනා.
තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමට මාස් සමූහ ව්‍යාපාරයේ නිර්මල ජයසිංහ සහ විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ දිනේෂ් කවිෂ්ක සමත් වුණා.
මෙවර තරගාවලියේ විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ නිමේෂ් රංචාගොඩ සහ හංසනී පියුමිලා කපුගීකියනයි.
