මෙසීගේ ලෝක කුසලාන ජර්සියට ඩොලර් මිලියන 7ක වටිනාකමක්

ආර්ජන්ටිනා නායක ලියනොල් මෙසී ලෝක කුසලානයේදී ඇඳි ජර්සි අමෙරිකා ඩොලර් මිලියන 7යි දශම8ක මුදලකට අලෙවි වුණා.

ඒ සමඟ මෙම වසරේ වෙන්දේසියකදී අලෙවි වූ වටිනාම ක්‍රීඩා ඇඳුම බවට මෙය පත්වුණා.

2022 වසරේ කටාර්හි පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මෙසී ඇඳි ජර්සි 6ක් වෙන්දේසි කිරීමට අමෙරිකා වෙන්දේසි ආයතනයක් කටයුතු කළා.

මෙසි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වට දෙකේදී ඇඳි ජර්සිය,16 දෙනාගේ වටයේදී ඇඳි ජර්සිය , අර්ධ අවසන් පූර්ව වටයේදී ඇඳි ජර්සිය ,අවසන් පූර්ව වටයේදී ඇඳි ජර්සිය සහ අවසන් මහා තරගයේ පළමු අර්ධයේදී ඇඳ සිටි ජර්සිය සමඟ ජර්සි 6ක් මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කෙරුණා.

ඊයේ පැවති වෙන්දේසියේදී අමෙරිකා ඩොලර් මිලියන 7යි දශම 8ක මුදලකට එම ජර්සි අලෙවි වූ බව වෙන්දේසි ආයතනය නිවේදනය කළා.

ඒ මුදල පවුම් මිලියන 6යි දශම 1ක් වනවා.

මෙසිගේ ජර්සි වෙනුවෙන් අමෙරිකා ඩොලර් මිලියන 10ක අවම ලංසුවක් වෙන්දේසි ආයතනය විසින් ලබාදී තිබුණත් එම තක්සේරුවට අඩු මුදලකටයි මෙම ජර්සි අලෙවි වුණේ.

2022 වසරේදී ඩියාගෝ මැරඩෝනාගේ හැන්ඩ් ඔෆ් ගෝඩ් ගෝලය වාර්තා කරනවිට ඇඳ සිටි ජර්සිය පවුම් මිලියන 7යි දශම 1ක මුදලකට අලෙවි වී තිබෙනවා.

ඒ අනුව මෙසීගේ ජර්සි වෙනුවෙන් වෙන්දේසිකරුවන් සිතු තරම් මුදලක් හිමිව නැති බවයි වාර්තා වන්නේ.

8 වතාවක් බැලුන් ඩී ඕර් සම්මානයෙන් පිදුම් ලබා ඇති මෙසි, ලෝක කුසලානයක පළමු වටයේදී , අර්ධ අවසන් පූර්ව වටයේදී අවසන් පුර්ව වටයේදී අවසන් මහා තරගයේදි යන අවස්ථා ගණනාවේදීම ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වනවා.

මෙම වෙන්දේසියෙන් හිමිවූ මුදල් ආර්ජන්ටිනාවේ ළමා රෝහල් වෙනුවෙන් සහ සුභසාධක කටයුතු වෙනුවෙන් වෙන්කිරීමට නියමිතයි.

මීට පෙර වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝඩන් 1998 වසරේ පැවැති ජාතික පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ඇඳි ජර්සියයි.

එම ජර්සිය 2022 සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 10.1 කට අලෙවි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *