සිය උත්සාහය සහ කැපවීම නිසාම ජාත්‍යන්තර බේස්බෝල් තරු සමග තරග වැදීමට අවස්ථාව උදාකරගත් මෙරට තරුණ ක්‍රීඩකයෙක් පිලිබඳ තොරතුරු අපට වාර්තා වුණා.
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනගිය මෙම තරුණ ක්‍රීඩකයා දඹුල්ල වෑවලවැව ප්‍රෙද්ශයේ ඉතා දුගී පවුලක සාමාජිකයෙක්.
ඩුබායිහිදී පැවැත්වීමට නියමිත බේස්බෝල් යුනයිටඩ් වෘත්තීයමය ලීග් තරගාවලිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ලෝක බේස්බෝල් පිටියේ නම් දැරූ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශනාත්මක බේස්බෝල් තරගයක් පසුගියදා ඩුබායිහිදී පැවැත්වුණා.
එම තරගය සඳහා සුපිරි බේස්බෝල් ක්‍රීඩකයින්ට අමතරව තරුණ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටද අවස්ථාව ලබාදී තිබීම විශේෂත්වයක්.
ඒ සඳහා රටවල් 128ක තරුණ ක්‍රිඩකයින් සලකා බැලුණු අතර ශ්‍රී ලංකාවෙන්ද එක් ක්‍රීඩකයෙක්ට එම තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුණා.
එම සුවිශේෂි අවස්ථාව උදාවූයේ දඹුල්ල වෑවලවැව ගම්මානයේ ඉතා දුගී පවුලක සාමාජිකයෙක් වූ හෂාන් දිලීප් සෙනෙවිරත්නටයි.
තරුණ ක්‍රීඩකයෙක් ලෙස බේස්බෝල් ක්‍රීඩාවේදී පන්දු රැකීමේ සහ ධාවනයේ යෙදීමේ සුවිශේෂි දක්ෂතා පෙන්වීම හේතුවෙන් හෂාන්ට මෙම අවස්ථාව හිමිව තිබෙනවා.
වෘත්තීය මට්ටමේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහභාගි වූ තරගයකට සහභාගි වීමට අවස්ථාව හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස හෂාන් වාර්තාගත වනවා.
ඩුබායිහිදී පැවති තරගයේ ධාවකයෙක් ලෙස කණ්ඩායමට එක්වූ හෂාන් දිලිප්ගේ දක්ෂතා ජාත්‍යන්තර විචාරකයින්ගේද පැසසුමට ලක්වීම කැපී පෙණුනා.
දුෂ්කර පළාත්වල දුගී පවුල්වල ක්‍රීඩකයින්ටද ජාත්‍යන්තර ජයගැනීම සඳහා හැකියාව පවතින බවට හෂාන්ගේ කතාව ඉතා හොඳ නිදසුනක්.
14වැනි වියේදී බේස්බෝල් ක්‍රීඩාවට අත්පොත් තබන හෂාන් දිලිප් සෙනෙවිරත්න මේ දක්වා ආ ගමන්මග ඉතා දුෂ්කර එකක්.
හෂාන් දඹුල්ල වැවලවැව ප්‍රෙද්ශයේ පදිංචි හයදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් පුත්‍රයායි.
හෂාන් ඇතුළු පවුලේ සාමාජිකයින් හයදෙනා දිවිගෙවන්නේ කාමර දෙකක් සහිත කටුමැටිවලින් තැනූ කුඩා නිවසකයි.
වෑවලවැව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන හෂාන් වයස අවුරුදු 14දී අහම්බෙන් බේස්බෝල් ක්‍රීඩාවට පිවිසෙනවා.
ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන හෂාන්ගේ දෙමාපියන් බේස්බෝල් ක්‍රීඩාවට හෂාන් දක්වන දක්ෂතා නිසාම කෙතරම් අගහිඟකම් තිබුණද ඔහුට බේස්බෝල් ක්‍රීඩාවේ නිරත වීමට උපකාර කරනවා.
ශ්‍රි ලංකා වයස අවුරුදු 18න් පහළ ජාතික බේස්බෝල් කණ්ඩායමට සුදුසුකම් ලබන හෂාන් දිලිප්ට ජපානයේ තරග සංචාරයක නිරතවීමට අවස්ථාව ලැබීම ඔහුගේ ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂය බවට පත්වනවා.

මේ වනවිට ශ්‍රී ලංකා යුදහමුදා බේස්බෝල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන හෂාන් ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේද නිත්‍ය සාමාජිකයෙක්.
ජාත්‍යන්තර සුපිරි බේස්බෝල් ක්‍රිඩකයින් සමග ක්‍රීඩාකර අත්දැකීම් රැසක් ලබාගත් හෂාන් දිලිප් සෙනෙවිරත්නට බේස්බෝල් ක්‍රීඩාවෙන් දිගු ගමනක් යාමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.
නමුත් කැලේ පිපුණු මල් කැලේම පරව යාමට ඉඩනොහැර මෙවන් ක්‍රීඩකයින්ව රැකබලා ගැනීම මෙරට ක්‍රීඩා බලධාරීන්ගේද වගකීමක්.
එමෙන්ම ක්‍රීඩාවට ආදරය කරන ඔබ අප සියළුදෙනාද හෂාන්ගේ ක්‍රීඩා දිවියට සවියක් වෙමින් ඔහුට උපකාර කිරීමට ඉදිරිපත් වුවහොත් අනාගතයේ ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට ඔහුට එය මහඟු සවියක් වනු ඇති.
