51 වැනි කනිෂ්ඨ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය 27දා සිට

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 51 වැනි කනිෂ්ඨ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය එළඹෙන සඳුදා (27) සිට ලබන මස 2 දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපති අතුල විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ඇවෙන්රා සංචාරක හෝටල් පරිශ්‍රයේදී පසුගියදා (20) පැවති අතර, එහිදී ඒ මහතා පැවසුවේ දැනටමත් ක්‍රීඩකයන් 10,000කගේ සහභාගිත්වයෙන් පළාත් තරග අවසන් කර ඇති බවත්, අවසන් තරග සඳහා දිවයිනේ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1400ක් පමණ සහභාගි වීමට නියමිත බවයි.

තරගාවලිය අවුරුදු 13, 15, 17 සහ 19න් පහළ වයස් කාණ්ඩයන්ගෙන් කේවල සහ යුගල ලෙස පැවැත්වෙන අතර, 11න් පහළ තරගාවලිය සියලු දෙනාටම සහභාගි විය හැකි නවමු ආකාරයෙන් සැණකෙළියක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම සංගමයේ ලේකම් මල්ලිකා වඩුගේ මහත්මිය පැවසුවා.

සියලු වයස් කාණ්ඩවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් වෙන් කර තිබෙනවා.

නිල අනුග්‍රාහකයන් ලෙස ලින්ග්මි සහ පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනය කටයුතු කරන අතර, ඊට අදාළ චෙක්පත් ප්‍රදානය ද මධ්‍ය හමුවේදී සිදු කෙරුණා.

මේ අවස්ථාවට පාසල් බැඩ්මින්ටන් සංගමයේ තරගාවලි ලේකම් සුමිත් සී. ද සිල්වා සහ තාක්ෂණික නිලධාරී ඩර්වින් ප්‍රියංක මහතාද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *