දේශපාලන අතපෙවීම් ගැන ක්‍රිකට් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ රැස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් කර සිටිනවා.

එම විධායක කමිටු රැස්වීමේ අරමුණ වූයේ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ICCය මගින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ එම ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එහි දැක්වෙන්නේ එම රැස්වීම ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවයි.

එසේම එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අතපෙවීම ගැන ICCය නිරන්තරයෙන් අවධානයෙන් සිට ඇති බවයි.

මෙම තහනම පනවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිහිප වරක් දැනුම්දීමෙන් අනතුරුව බවද එම නිවේදනයේ දැක්වෙනවා.

ICCය නිකුත් කළ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව කිහිප විටක් දැනුවත් කළ බවත් එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි සැළකිල්ලක් නොදැක්වූ බවත් එම නිවේදනයේ සඳහන්.

එසේම මෙම තහනම දිගටම පැවතුණහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා අහිතකර බලපෑමක් ඇතිකළ හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

එබැවින් අත්හිටුවා ඇති සාමාජිකත්වය නැවත ලබාගැනීම සඳහා කටයුතු කිරීමට සුදුසු පරිසරය සකසන ලෙසත් දේශපාලන මැදිහත්වීම්වලින් වළකින ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *