රුමේෂ්ට තවත් ඩයමන්ඩ් ලීග් ජයක්

අඛණ්ඩ ජයග්‍රහණ රැසක් සමග මව් දෙරණට කීර්තියක් අත්කරදුන් ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ජාතික ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තවත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා.

ඒ ස්විටර්ලන්තයේ ලොසෑන් හී පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12වන අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයගනිමින්.

ලොව ප්‍රබල මලල ක්‍රීඩා තරු එක්වුණු ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12වන අදියර ස්විටර්ලන්තයේ ලොසෑන් හිදි පැවැත්වුණා.

එහිදි ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ද ඒ සඳහා එක්වූ අතර ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉන්දියාවේ නීරාජ් චොප්රා සහ ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් ද එක්වුණා.

එහිදි රුමේෂ් තරංග සිය පළමු අවස්ථාවේදී මීටර 85යි දශම 9යි 9ක දක්ෂතාවක් පෙන්වීමට සමත්වුණා.

නමුත් ඉන්දියාවේ නීරාජ් චොප්රා සිය දෙවැනි අවස්ථාවේදී මීටර 88යි දශම 05ක දක්ෂතාවක් පෙන්වමින් රුමේෂ්ව අභිබවා ගියා.

උත්සාහය අත්නොහැරි රුමේෂ් සිය තුන්වැනි අවස්ථාවේ මීටර 88යි දශම 1යි 4ක දක්ෂතාවක් පෙන්වූයේ මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ලොසෑන් තරග අදියරේ ජයත් තමන් සතුකර ගනිමින්.

දෙවැනි ස්ථානය ඉන්දියාවේ නීරාජ් චොප්රාට හිමි වෙද්දී තුන්වැනි ස්ථානය මීටර 86යි දශම 6යි 9ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් දිනාගත්තා.

මේ ජයත් සමඟ රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ද සමත්වුණා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *