රොෂාන් ධම්මික අවසන් තරගයට

මෙවර 23 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් අද ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු තරගබිමට පිවිසියා.

මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ මුලික තරග අද පැවැති අතර එහි 3වැනි මූලික වටයේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණේ දිනෙත් ඉඳුවරයි.

එහිදී දිනෙත් ඉඳුවර 3වැනි ස්ථානය දිනා ගැනීමට සමත්වූ අතර ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 10යි දශම 3යි 3ක්.

එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද සටහන් වුණා.

එමෙන්ම චමෝද් යෝධසිංහද පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ 8 වැනි මූලික වටයේ තරගයේදී තත්පර 10යි දශම 4යි 5ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ යෝධසිංහ ද 3වැනි ස්ථානය දිනා ගත්තා.

මීටර 100 ධාවන ඉසව්වේ මූලික වටයේ සමස්ත කාල ගණනයන් අනුව දිනෙත් ඉඳුවරට 22වැනි ස්ථානයත් සහ චමෝද් යෝධසිංහට 32 වැනි ස්ථානයත් හිමි වූ අතර ඔවුන්ගේ එම දක්ෂතා අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රමාණවත් වූයේ නැහැ.

මේ අතර පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්වෙ පළමු මූලික වටයේ තරගයට ශ්‍රී ලංකාවේ රොෂාන් ධම්මික අද එක්වුණා.

එම ඉසව්ව තත්පර 14යි දශම 1යි එකකින් නිම කරමින් සිව්වැනි ස්ථානය දිනාගත් රොෂාන් ධම්මික අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *