ලෝක මලල ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා නාමය රනින් බබලවමින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඩයමන්ඩ් ලීග් ශූරයා බවට පත්වීමට රුමේෂ් තරංග අද අලුයම සමත්වුණා.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව රුමේෂ් ජයගත්තේ එවන් දක්ෂතාවක් දැක්වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්.

2026 ඩයමන්ඩ් ලිග් තරගාවලිය අදියර 15කින් සමන්විත වූ අතර මේ සඳහා ලොව සිටින දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගවැදුණා.

මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අදියර කිහිපයකට එක්වීමට 23 හැවිරිදි රුමේෂ් තරංගටද හැකියාව ලැබුණු අතර ඔහු වාර්තා අතර එක් වුණේ කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන්ගෙන් පසු ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි.

මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ රබාත්, රෝම, දෝහා, ලොසෑන් සහ සූරිච් අදියර සඳහා එක් වූ රුමේෂ් තරග එහිදී ප්‍රථම ස්ථාන 4ක් සහ දෙවන ස්ථානයක් දිනා ගත්තේ ඔලිම්පික් ශූරයින් සහ ලෝක ශූරයින් පරාජය කරමින්.

එහිදී රුමේෂ් තරංග රෝම අදියරේ මීටර 92යි දශම 6යි 2ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් මෙම වසරේ දැවැන්තම හෙල්ල විසිකිරීමද වාර්තා කළා.

ඒ අනුව අදියර 5කට එක් වූ රුමේෂ් තරංග වාර්තාගත ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු 39ක් ලබා හෙල්ල විසි කිරීම ඉසව්වේන් පෙරමුණ ගනිමින් මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ඒ අනුව මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අවසන් තරග බෙල්ජියමේ බ්‍රස්ල්ස් නුවරදී පැවැති අතර එහි දෙවන දිනයටත් ඉසව් රැසක අවසන් තරග ඊයේ රාත්‍රියේ ආරම්භ වුණා.

මෙහි පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකා සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග සිය පළමු උත්සහායේදි මීටර 80යි දශම 4යි 2ක දක්ෂතාවක් දැක්වීමට සමත්වුණා.

කෙසේ් වෙතත් ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි කෙෂෝන් වෝල්කොට් සිය පළමු උත්සාහයේදී මීටර 83යි 99ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් තරංග අබිබවා ගියා.

අනතුරුව රුමේෂ් තරංගට දෙවන උත්සහයේදීද එය අභිබවා යාමට නොහැකි වූ අතර සටන අත්නොහල රුමේෂ් තුන්වැනි උත්සාහයේදී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ක්‍රීඩකයා අබිබවා ගියේ වර්තමානයේ ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ශුරයා තමන් බව යළි පසක් කරමින්.

ඒ අනුව රුමේෂ් එම උත්සාහයේදී මීටර් 89යි දශම 4ක දක්ෂතාවක් දක්වමින් මෙවර ඩයමන්ඩ් ලිග් අවසන් තරගයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ශූරයා බවට පත්වුණා.

ඒ අනුව ලෝක මලල ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා නාමය රනින් බබලවමින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඩයමන්ඩ් ලීග් ශූරයා බවට පත්වීමට රුමේෂ් තරංගට හැකියාව ලැබුණා.

ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනූ ක්‍රීඩක ක්‍රීඩකාවන් තමන් දිනූ දියමන්ති හැඩැති ශුරතාව සමග මෙලෙස සමූහ ජායාරූපයකට පෙනී සිටි අතර ඔලිම්පික් සහ ලෝක ශූරතා තරගාවලිවලින් පසුව මලල ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සිය ක්‍රීඩා දිවිය තුළ ලබාගත හැකි කීර්තිමත්ම සහ ඉහළම වාණිජ වටිනාකමක් සහිත ජයග්‍රහණය ලෙසයි මෙය සැලකෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *