ඉතිහාසය වෙනස් කළ රුමේෂ් තරංග

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ඇතුළු තවත් වාර්තා කිහිපයක් තම නම ඉදිරියේ සටහන් කරගනිමින් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ රෝමයේ පැවති අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.

එම ජයත් සමග රුමේෂ් තරංග වාර්තා අතරට එක්වූයේ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියක ඉසව්වක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි.

ලෝක මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම ලීග් තරගාවලිය වන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 2026 වසරේ සිව්වන අදියර ඉතාලියේ රෝම නුවරදී්‍ පැවැත්වුණා.

ලෝකයේ දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පසුගිය සතියේ පැවති තුන්වන අදියරට මෙන්ම අද අළුයම පැවති සිව්වන අදියරටත් ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග එක්ව සිටියා.

සිව්වන අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී රුමේෂ් තරංග මීටර 92යි දශම 6යි දෙකක දක්ෂතාවක් දැක්වූයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව නැවත වතාවක් අලුත් කරමින්.

එමෙන්ම රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ රෝම අදියරේ වසර 20ක් පැරණි හෙල්ල විසිකිරීමේ වාර්තාවද අලුත් කළා.

ඔහු වාර්තා කළ මීටර 92යි දශම 6යි දෙකක දක්ෂතාව ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොඳම විසිකිරීම ලෙස සටහන් වෙද්දී එය ලෝක ඉතිහාසයේ 8 වැනි හොඳම විසිකිරීම ලෙසින් වාර්තා අතරට එක්වුණා.

රුමේෂ්ගේ මෙම දක්ෂතාව 2026 වසරේ ලෝකයේ හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව වන අතර 2026 වසරේදී මීටර් 90 සීමාව පසු කළ පළමු සහ එකම ක්‍රීඩකයා වන්නේද රුමේෂ් තරංගයි.

තවමත් 23 හැවිරිදි රුමේෂ් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර 92ක සීමාව පසුකළ ලාබාලතම ක්‍රීඩකයාද වනවා.

2024 පැරිස් ඔලිම්පික් උලෙළේදී නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වාර්තා කළ මීටර 92යි දශම 9යි 7ක දක්ෂතාවයෙන් පසු ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී වාර්තා වූ ඉහළම දක්ෂතාව ලෙස රුමේෂ් තරංග ඊයේ දැක්වූ මීටර 92යි දශම 6යි දෙකක දක්ෂතාව සටහන්වනවා.

මේවනවිට පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ පසුවන රුමේෂ් එළඹෙන 9 වැනිදා යාවත්කාලීන කෙරෙන නව ශ්‍රේණිගත කිරීමව්ල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නියමිතයි.

කට් – රුමේෂ් තරංග – හෙල්ල විසිකිරීමේ ශූර

බලපිටියේ උපත ලද රුමේෂ් තරංග පස්දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමහල් දරුවායි.

රුමේෂ් හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *