වසර 13කට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින තරග ජයක්

වසර 13කට පසු කොදෙව් දේශයේදී , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 41කින් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් සංචාරයට එක්වූයේ නව සීමිත පන්දුවාර නායකයෙක් සහ නව පුහුණුකරුවෙක් සමගයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ජැමෙයිකාවේ සබීනා පාර්ක්හිදී.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ අනුව පැතුම් නිස්සංක සමගින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ නව ආරම්භක පිතිකරු කමිඳු මෙන්ඩිස්.

එහිදී පැතුම් නිස්සංක සිය එක්දින දිවියේ 19 වැනි අර්ධ ශතකයත් සමගින් ලකුණු 79ක් රැස්කළා.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් රැස්කළේ සිය එක්දින දිවියේ 36වැනි අර්ධ ශතකය වාර්තා කරමින්.

පැතුම් සහ කුසල් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 136ක්.

ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ශක්තිමත් කළ චරිත් අසලංක ලකුණු 45ක් රැස්කළ අතර ජනිත් ලියනගේ නොදැවි ලකුණු 44ක් රැස්කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 303ක්.

ලකුණු 304ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 125ක් රැස්කරගෙන ප්‍රබල ස්ථානයක පසුවුණා.

කෙසේ වෙතත් ලකුණු 42ක් තුළ කඩුලු 3ක් දවාගනිමින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් එතැන් සිට කොදෙව් ඉනිම පාලනය කිරීමට සමත් වුණා.

කොදෙව් පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කළ දුෂ්මන්ත චමීර ලකුණු 67කට කඩුලු 4ක් දවාගත්තා.

මහීෂ් තීක්ෂණ ලකුණු 26කට කඩුලු දෙකයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 2කදි සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 262ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව 2013 වසරට පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී පළමු එක්දින ජය වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය නායක කුසල් මෙන්ඩිස් හිමිකරගත්තා.

දෙරට අතර දෙවන එක්දින තරගය ජුනි 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *