ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසගත ජයක් ලබයි

2027ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ සිය දෙවන ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ස්ථාන 59ක් ඉදිරියෙන් සිටි ටර්ක්මෙනිස්තානය ගෝල 1ට බින්දුවක් ලෙස පරාජය කරමින්.

ශ්‍රී ලංකාව ටර්ක්මෙනිස්තානයට එරෙහිව ලද පළමු ජාත්‍යන්තර පාපන්දු ජයද මෙයයි.

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ඩී කාණ්ඩය යටතේ තරගයක් සත්කාරක ශ්‍රී ලංකාව සහ ටරක්මෙනිස්තානය අතර පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේදියි.

ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල 197 ස්ථානයේ පසුවෙමින් මෙහිදී තරග වැදුණේ තමන්ට ස්ථාන 59ක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රේණිගත කිරීම්වල 138 වැනි තැන පසු වූ ටර්ක්මෙනිස්තානය සමගයි.

තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදී ටර්ක්මෙනිස්තාන පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක නිරත වුණා.

ඒ අතරවාරයේදී ශ්‍රී ලංකාවට ගෝල වාර්තා කිරීමට තිබූ ආසන්න අවස්ථා කිහිපයක් දැල ආසන්නයේදී ගිලිවුණේ අවාසනාවන්ත අයුරින්.

කෙසේ වෙතත් පළමු අර්ධයේදී දෙපිලම ගෝල වාර්තා කිරීමට නොහැකී අතර එම අර්ධය නිමා වුණේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරව හිමිකර දෙමින්.

අනතුරුව ආරම්භ වූ දෙවන අර්ධයේද ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ක්‍රීඩා විලාශයක නිරත වුණා.

තරගයේ 66 වැනි මිනිත්තුවේදී රාජ් මෝහන්ගේ සුපිරි පන්දු පිරිනැමිම හමුවේ ක්‍රියාත්මක වූ ලියොන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කරමින් ප්‍රබල ටර්ක්මෙනිස්තානය දැඩි අභියෝගයක් එල්ල කළා.

අනතුරුවද ශ්‍රී ලංකාවට ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථා කිහිපයක් දැල ආසන්නයේදී ගිලිවුණේ මෙලෙසින්.

තරගයේ අවසන් භාගයේදී ටර්ක්මෙනිස්තානයට ගෝල වාර්තා කිරීමට අවස්ථා කිහිපයක්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සුපිරි දක්ෂතා හේතුවෙන් වැළකුණා.

තරගයේ නියමිත කාලය අවසන් වන විට ශ්‍රී ලංකාව ගෝල 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගත් අතර අනතුරුව ලබාදුන් අතිරේක කාලයේද ගෝල වාර්තා නොවූ බැවින් ශ්‍රී ලංකාව මෙම තරගය ගෝල 1ට බින්දුවක් ලෙස ජය හිමිකර ගත්තා.

ඒ 2027ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ සිය දෙවන ජය වාර්තා කරමින්.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙහිදී ටර්ක්මෙනිස්තානයට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු ජයක් වාර්තා කළේ ඉතිහාසයේ පළමුවරට වන අතර ශ්‍රී ලංකාව තමන්ට ශ්‍රේණිගතකිරීම්වල ස්ථාන 59ක් ඉදිරියෙන් සිටි ටර්ක්මෙනිස්තානය මෙහිදී පරාජය කිරීම කැපී පෙනුනා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ප්‍රමුඛ එහි නිලධාරීන් මෑත කාලයේදී ශ්‍රී ලංකා පාපන්දුවේ සිදු කළ සාර්ථක වෙනස්කම් සමග මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු පිල මෑත කාලයේ අඛණ්ඩව දක්ෂතා ප්‍රදර්ශනය කිරීමද කැපී පෙනනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *