ශ්‍රී ලංකා කාන්තා පිල එංගලන්තය හමුවේ පරාජය වෙයි

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ තුන්වැනි තරගය එංගලන්තය හමුවේ ලකුණු 89කින් අද පරාජයට පත්වුණා.

එංගලන්තය මෙවර තරගාවලියේ අඛණ්ඩව ලද තුන්වැනි ජය මෙයයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායිකාව දිනා ගත් අතර ඇය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්තයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කාන්තා පිලේ මුල් කඩුලු 2 ලකුණු 49ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුණා.

කෙසේ වෙතත් එංගලන්ත නායිකා නැට් සෙවර් බ්‍රන්ට් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු ශතකයක් රැස් කළේ එංගලන්ත ඉනිම ඔසවා තබමින්.

පන්දුයැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 3ක් දවා ගත් අතර සුගන්ධිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු දෙකබැගින් දවා ගත්තා.

නැට් සෙවර් බ්‍රන්ට් ලකුණු 117ක් රැස් කළ අතර ඒ අනුව එංගලන්ත කණ්ඩාය නියමිත පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී ලකුණු 253ක් රැස් කිරීමට සමත්වුණා.

ලකුණු 254ක ඉලක්කයක් හඹා යාමට සඳහා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නායිකා චමරි අතපත්තු සමගින් හසිනි පෙරේරායි.

ලකුණකු කරා දිවයන අවස්ථාවේදී පාදයේ ආබාධයක් ලක්වීම හේතුවෙන් චමරි අතපත්තු ලකුණු 7ක් ලබා සිටියේදී පිටියෙන් ඉවත් වුණා.

අනතුරුව හසිනි පෙරේරා සමගින් පිටියේ එක් වුණේ විශ්මි ගුණරත්නයි.

විශ්මි ගුණරත්න ලකුණු 10කට දැවී ගියා.

හසිනි පෙරේරා සහ හර්ෂිතා මාධවී ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගුවද එම සබඳතාව ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

හර්ෂිතාගේ දැවී යාමත් සමග ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ නායිකා චමරි අතපත්තු යළි පිටියට පිවිසියද ඇය ලකුණු 15කට දැවී ගියා.

ශ්‍රී ලංකා කාන්තා ඉනිම ලකුණු 164කට සීමා වූ අතර ඒ අනුව මෙම තරගයෙන් එංගලන්ත පිල ලකුණු 89ක ජයක් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *