දකුණු ආසියා කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 17ක්

දකුණු ආසියා කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ තනි තරග අංශයෙන් රන් පදක්කම් 14ක් ඇතුළුව පදක්කම් 24ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේදීම ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. භූතානයේ තිම්පු නුවරදී නිමාවට පත්වූ මෙවර තරගාවලියේ පළමු අදියර ලෙස පැවැති කණ්ඩායම් අංශයේ තරග ත්‍රිත්වයෙන් රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකාව දෙවැනි අදියර ලෙස පැවැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තනි තරග වූ ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග අංශයෙන් ද අණසක පැතිරීමට සමත් විය.

ඒකල, යුගල හා මිශ්‍ර යුගල අවසන් මහා තරග 15කට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන් තරග 14ක්ම ජයගනිමින් රන් පදක්කම්වලට හිමිකම් කී අතර, එම තරගවලින් රිදී පදක්කම් 6ක් දිනා ගැනීමට ද සමත්වූහ. මීට අමතරව ලෝකඩ පදක්කම් 4ක් ද ශ්‍රී ලංකාවට හිමිවිය.
ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමඟ රනිත්මා ලියනගේ, නෙත්මි රත්නායක සහ නිතිනි ගුරුගේ රන් පදක්කම් ත්‍රිත්වයක් බැගින් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් පෑමට සමත්වූහ. පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරගවලදී විරේන් රන් පදක්කම් දිනාගත් අතර, කාන්තා තරග අංශයෙන් එම ඉසව් ත්‍රිත්වයේදීම රන් පදක්කම්වලට හිමිකම් කීමට රනිත්මා සමත්වූයේ මිශ්‍ර යුගල තරග අංශයේදී විරේන් සමඟ එක්ව ක්‍රීඩා කරමිනි.

පිරිමි ඒකල අවසන් මහා තරගයේදී විරේන් හමුවේ පරාජයට පත්වූ තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වන දුමිඳු අබේවික්‍රම රිදී පදක්කම දිනාගත් අතර, විරේන් සමඟ එක්ව පිරිමි යුගල අවසන් තරගයේදී රන් පදක්කමට හිමිකම් කියනු ලැබුවේ නේපාලයේ ප්‍රින්ස් දහාල් සහ කේෂිටිස් කානල් පරාජය කරමිනි. කාන්තා ඒකල අවසන් මහා තරගයේදී රනිත්මා හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා රෂ්මි මුදලිගේ රිදී පදක්කම දිනාගත් අතර, කාන්තා යුගල රන් පදක්කමට හිමිකම් කියනු ලැබුවේ රනිත්මා සමඟ එක්ව නේපාලයේ රසිලා මහරියන් සහ අයුෂ්මා පරාජයට පත් කරමිනි. විරේන් සහ රනිත්මා එක්ව මිශ්‍ර යුගල තරගයේ රන් පදක්කමට හිමිකම් කියනු ලැබුවේ අවසන් මහා තරගයේදී පාකිස්තානයේ මුහම්මද් අද්නාන් සහ අමාරා ඉෂ්ටියාක් පරාජය කරමිනි.

අවුරුදු 17න් පහළ තරග අංශයේ ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ජය ගනිමින් නෙත්මි රත්නායක ද රන් පදක්කම් ත්‍රිත්වයකට හිමිකම් කී අතර, කෙනෙත් අරුග්ගොඩ සහ සෙනුත් පෙරේරා රන් පදක්කම් ද්විත්වය බැගින් දිනා ගැනීමට සමත්වූහ. එහිදි බාලිකා ඒකල අවසන් තරගයෙන් නෙත්මි හමුවේ පරාජයට පත්වූ විශ්වනී වන්නිආරච්චි රිදී පදක්කම දිනාගත් අතර, නෙත්මි සමඟ එක්ව ක්‍රීඩා කරමින් බාලිකා යුගල තරගයේ රන් පදක්කමට ද හිමිකම් කීවාය. එම වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල රන් පදක්කම දිනා ගැනීමට නෙත්මි රත්නායක සමත්වූයේ කෙනෙත් අරුග්ගොඩ සමඟ එක්ව ක්‍රීඩා කරමිනි. එම වයස් කාණ්ඩයේ රන් පදක්කම් ත්‍රිත්වය කෙනෙත් අරුග්ගොඩට අහිමි වූයේ බාලක ඒකල අවසන් මහා තරගයේදී සෙනුත් පෙරේරා හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි.
අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව්වලදී රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට නිතිනි ගුරුගේ සමත්වූ අතර, ඒකල අවසන් තරගයේදී ඇය හමුවේ පරාජයට පත්වූ තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක වන ලිමන්දි පද්ම බණ්ඩාර රිදී පදක්කමට හිමිකම් කීවාය දෙදෙනා එක්ව ක්‍රීඩා කරමින් එම වයස් කාණ්ඩයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට ද සමත්වූහ.

නිතිනි ගුරුගේ රන් පදක්කම් ත්‍රිත්වය සම්පූර්ණ කරනු ලැබුවේ තමිඳු ප්‍රනාන්දු සමඟ එක්ව මිශ්‍ර යුගල අවසන් තරගයේදී නේපාලයේ ඩීප් තිං සහ නිවා රායි පරාජය කරමිනි. එම වයස් කාණ්ඩයේ බාලක යුගල සහ මිශ්‍ර යුගල අවසන් තරගවලින් ජය ලැබූ තමිඳු ප්‍රනාන්දු ද රන් පදක්කම් 2කට හිමිකම් කී අතර, ලිමන්දි සහ රනිතු එම වයස් කාණ්ඩයේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත්හ.

දස්කම් සපිරි යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකු සහභාගි වූ දකුණු ආසියා කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලිය ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ භූතාන බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ අතර, අවුරුදු 23න් පහළ, 17න් පහළ සහ 15න් පහළ වයස් කාණ්ඩ ඇතුළත් මෙම තරගාවලියට බංග්ලාදේශය, භූතානය, නේපාලය, පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව තරගාවලියට එක්වී සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම හසිත චානක මහතාගේ පුහුණුකාරීත්වය යටතේ තරගාවලියට එක්වූ අතර, අමන්ද ලලින්ද්‍ර වීරසිංහ මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙසත්, හසලිකා මෙනෙවිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙසත් එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *