වසර 34කට පසු සිම්බාබ්වේ දේශයෙන් රග්බි පෙරළියක්

වසර 34කට පසු රග්බි ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ රග්බි කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.

ඒ මෙවර රග්බි අප්‍රිකා කුසලානය දිනාගනිමින්.
මෙවර රග්බි අප්‍රිකා කුසලානය උගන්ඩාවේ සත්කාරකත්වයෙන් පැවති අතර ඊට අප්‍රිකානු රටවල් 8ක් සහභාගි වුණා.

මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ 9 වරක් අප්‍රිකානු රග්බි ශූරයින් වූ නැමීබියාව සහ දෙවරක් ශූරයින් වූ සිම්බාබ්වේ කණ්ඩායමයි.

අවසන් තරගය ආරම්භයේ සිටම දෙපිලම කරට කර සටනක නිරත වුණා.

පළමු අර්ධයේදී දෙපිලේ ක්‍රීඩකයින් ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක නිරත වුණේ මෙම අවසන් තරගයේ උණුසුම තව තවත් වැඩි කරමින්.

ඒ අනුව පළමු අර්ධය ලකුණු 16ට 16ක් ලෙස අවසන් වුණේ තරගයේ තීරණය දෙවන අර්ධයට භාර කරමින්.

දෙවන අර්ධයේදීද දෙපිලේ ක්‍රීඩකයින් අතර කරට කරට සටනත් පැවතියා.

සිම්බාබ්වේ රග්බි පිල දෙවන අර්ධයේදී තවත් ලකුණු 14ක් රැස් කිරීමට සමත් වූ අතර නැමීබියාව එම අර්ධයේදී තවත් ලකුණු 12ක් රැස් කළා.

තියුණු අවසානයක් සනිටුහන් කළ මෙම තරගය ලකුණු 30ට 28ක් ලෙස සිම්බාබ්වේ රග්බි පිල ජය හිමිකර ගත්තේ ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කරමින්.

ඒ අනුව මෙම තරගය ජය ගත් සිම්බාබ්වේ කණ්ඩායම වසර 34කට පසු රග්බි ලෝක කුසලානයක් සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඔවුන් අවසන් වරට රග්බි ලෝක කුසලානයක් නියෝජනය කළේ 1991 වසරේදියි.

ඒ අනුව 2027 වසරේ ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන රග්බි ලෝක කුසලානයට සිම්බාබ්වේ සුදුසුකම් ලබා ගත්තේ වසර 34ක පසු එම සිහිනය සැබෑ කර ගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *