ක්‍රීඩා ඇමති – පවිත්‍ර රග්බි අනයි – ශ්‍රී ලංකා පිල වීසා නැතිව ගෙදර

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – දකුණු කොරියාව අතර තරගය අවලංගු කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පිලට වීසා ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

ආසියානු ශුරතා රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තරගය අද දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

මෙම සුවිශේෂී තරගයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඊයේ අලුයම දකුණු කොරියාව බලා පිටත්වීමට සූදානමින් සිටියා.

කෙසේ වෙතත් ආසියානු රග්බි ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තරගය සඳහා නියමිත වේලාවට දකුණු කොරියාවට ඇතුළු වීමට අවශ්‍ය වීසා ලබා ගැනීමට නොහැකි වූ බව තහවුරු වීමෙන් පසුව අද පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය අවලංගු කිරීමට පියවර ගත් බවයි.

ආසියානු රග්බි, ශ්‍රී ලංකා රග්බි සහ කොරියානු රග්බි සංගමය සමඟ එක්ව වීසා ගැටලුව විසඳා ගැනීමට කටයුතු කළ නමුත් අවශ්‍ය කාලසීමාව තුළ වීසා ලබා ගැනිමට නොහැකි වීම නිසා මෙම තරගය අවලංගු කිරිමට සිදු වූ බවයි ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කලක පටන් වීසා ගැටලු නිසා ජාත්‍යන්තර තරගාවලි අහිමිවීමේ සිදුවීම් කොතෙක් වාර්තා වුවද එම තත්වයන් මගහරවා ගැනීමට ක්‍රීඩා බලධාරීන් තවමත් නිසි වැඩපිළිවෙළක් යොදා නොමැති බව මෙමගින් යළි යළිත් පැහැදිලි වනවා.

ශ්‍රී ලංකාව රග්බි කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගයක් මෙලෙස අවලංගු වන තැනට පත්වීමට වගකිවයුත්තේ කවුරුන්ද ? මෙවැනි තරගයක් සඳහා වීසා ලබා ගැනීමට අවශ්‍ය කාලසීමාව මෙරට ක්‍රීඩා බලධාරින් දැන නොසිටියාද යන්න ගැටලු මතුවනවා.

ඉකුත් මැයි මාසයේ උස්බෙකිස්තානයේ පැවති මධ්‍යම සහ දකුණු ආසියානු සත්සාමාජික තරගාවලිය සඳහාද සහභාගිවීමේදීද නියමිත දිනට වීසා ලබා අපොහොසත් වූ අතර අනතුරුව දිනකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට වීසා හිමි වුණා.

මෑත කාලයේ රග්බි ක්‍රීඩාවේද මෙරට පිබිදීමක් දක්නට ලැබෙන අතර එවන් පසුබිමක ජව සම්පන්න ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට දකුණු කොරියාව වැනි ප්‍රබල කණ්ඩායමක් සමග තරග කිරීමේ අවස්ථාව අහිමි වීම සුළු කොට තැකිය නොහැකියි.

මෙවැනි ප්‍රධාන පෙළේ තරගාවලි සඳහා කල්තියාම වීසා අයැදුම් කිරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු නොකරන්නේ නම් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවෙන් ඈත්වන දිනය වැඩි ඈතක නොවන බව සඳහන් කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *