ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේදී 3 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
මෙවර ආසියානු සත් සාමාජික රග්බි ශූරතාව දිනා ගත්තේ හොංකොං කණ්ඩායමයි.
ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ ජපානය අතර කොළඹ තුරඟ තරග පිටියේදී අද පැවැත්වුණා.
තරගයේ පළමු අර්ධයේදී ජපානයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ලකුණු 5ට 5ක් ලෙස සම තත්වයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණත් තියුණු තරගයකින් පසු ලකුණු 15ට 12ක් ලෙස මෙම තරගය ජයගනිමින් ජපානය කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය වෙනුවෙන් චිනය සමග තරග වැදීමට සිදුවුණා.
එහිදී චීනය ලකුණු 19ට 14ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගත්තා.
මේ අතර කුසලාන අවසන් තරගය පැවැත්වුණේ ජපානය සහ හොංකොං කණ්ඩායම අතරයි.
එහිදී ජපානය ලකුණු 12ට 7ක් ලෙස පරාජය කරමින් හොංකොං කණ්ඩායම මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.
