පාපන්දු සුපිරි තරුවගේ වියෝවෙන් කම්පා වූ පාපන්දු ලෝලීන්

මෝටර් රථ අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා හට උපහාර දැක්වීම සඳහා ඔහු ක්‍රීඩාකළ ලිවර්පූල් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය ඉදිරිපිටට දහස් ගණනින් ක්‍රීඩා ලෝලීන් රැස්වෙමින් සිටිනවා.

මෙම මියගිය ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයාට විම්බල්ඩන් ටෙනිස් තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් උපහාර දැක්වූයේ කළු අත්පටි පළඳමින්.

පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම සහ ලිවර්පූල් පාපන්දු ක්‍රිඩා සමාජයේ නියෝජනය කළ 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ඊයේ ජිවිතක්ෂයට පත්වුූයේ ස්පාඤ්ඤයේ සිදුවූ මෝටර් රථ අනතුරකින්.

එම අනතුරෙන් ඔහුගේ සහෝදරයා වූ 26 හැවිරිදි පාපන්දු ක්‍රීඩක අන්ද්‍රේ සිල්වාද මිය ගිය බවයි විදේස් මාධ්‍ය වාර්තා කළේ.

ඩියාගෝ ජෝටා සහ ඔහුගේ සහෝදරයා ගමන් කළ ලැම්බෝගිනි මෝටර් රථය තවත් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ටයරයක් පුපුරා යාමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගිනි ගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

පෘතුගාල වයස අවුරුදු 19න් පහළ, 21න් පහළ 23න් පහළ කණ්ඩායම් නියෝජනය කළ ඩියාගෝ ජෝටා 2019 දී පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිකරගත්තා.

පෘතුගාලය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 49කට සහභාගී වූ ජෝටා ලබාගත් ගෝල ගණන 14ක්.

ලිවර්පූල් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ප්‍රභල ක්‍රීඩකයෙක් වන ජෝටා පසුගිය මැයි මාසයේ අවසන් වූ එංගලන්ත ප්‍රිමියර්ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් ලිවර්පූල් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා.

අනතුරුව ජුනි මාසයේ අවසන් වූ යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ කිරුළ දිනාගත් පෘතුගාල කණ්ඩායමම ඩියාගෝ ජෝටා නියෝජනය කළ අතර එය ඔහු ක්‍රීඩාකළ අවසන් ජාත්‍යන්තර තරගාවලියයි.

ඩියෝගෝ ජෝටා මීට සති දෙකකට පෙර විවාහවූ අතර අනතුර සිදුවීමට පැය කිහිපයකට පෙර ඔහුගේ බිරිඳ ඔවුන්ගේ විවාහයේ වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.

මේඅතර ඩියෝගෝගේ මරණය සැළවීමත් සමඟ ලිවර්පූල් ක්‍රීඩා සමාජය ඉදිරියට රැස්වූ ක්‍රීඩාලෝලින් ඔහුට උපහාර දැක්වුවා.

මෙම මරණය සම්බන්ධයෙන් පෘතුගාල නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද සටහනක් තබමින් ශෝකය පලකර තිබෙනවා.

මේ අතර මේවනවිට ක්‍රියාත්මක කාන්තා යුරෝ පාපන්දු තරගාවලිය ආරම්භ වීමට පෙර ක්‍රීඩිකාවන් සිය පාපන්දු සගයාට උපහාර පළකලේ මෙලෙසින්.

තවද, මේවනවිට ක්‍රියාත්මක ලොව පැරණිතම ටෙනිස් තරගාවලිය වන විම්බල්ඩන් තරගාවලියේ සුදු පැහැති ඇඳුම් ඇඳීමේ නීතිය තාවතාලිකව වෙනසක් කරමින් ඩියෝගෝට උපහාර දැක්වීමට ක්‍රීඩකයින්ට කළු අත් පටි පැළඳීමට නිලධාරීන් අවසර දී තිබෙනවා.

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ වසර 148ක ඉතිහාසයේ ප්‍රථමවරට සුදුපැහැති ඇඳුම් ඇඳීමේ නීතිය තවකාලිකව වෙනස් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

ඒ අතර බ්‍රහස්පතින්දා උදෑසන සිදුවූ මෝටර් රථ අනතුරකින් මියගිය ඩියෝගෝ ජෝටා සහ ඔහුගේ සහෝදර ඇන්ඩ්‍රේ සිල්වා සිහිපත් කරමින් යුරෝපීය ශූර පැරිස් සෙන් ජර්මේන් කණ්ඩායම ඔවුන්ගේ පුහුණු සැසිය ආරම්භයට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *