බ්‍රයන් ලාරා තබා තිබූ ‘පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව’ ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු විආන් මෝල්ඩර් අද සමත් වුණා.
නමුත් බොහෝදෙනා විමතියට පත් කරවමින් සිය ලකුණු 367 දී ඉනිම අත්හිටුවීමට ඔහු තීරණය කිරීම නිසා ලාරාගේ වාර්තාව තවදුරටත් සුරැකිව පවතිනවා.
සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වූ අතර පළමු දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 465ක් ලබා සිටියා.
දකුණු අප්‍රිකා ඉනිම ඔසවා තැබූ නායක විආන් මෝල්ඩර් ඊයේ ලකුණු 247ක් ලබා සිටියදී ටනාකා චිවන්ගා යැවූ පන්දුවක් හමුවේ දැවී ගියද පසුව එය නිපන්දුවක් ලෙස සංඤා කිරීමත් සමග ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව උදා වුණා.
ඒ අවසරයෙන් ඔහු අද දිනයේ දිවා භෝජනයට තරගය නතරකරන විට නොදැවී ලකුණු 367 ක් රැස් කරගෙන සිටියා.
ඔහු සිටියේ බ්‍රයන් ලාරාගේ ලෝක වාර්තාවට ලකුණු 33 ක් පිටුපසින්.
කෙසේ වෙතත් සියලු දෙනා විමතියට පත්කරවමින් නායක විආන් මෝල්ඩර් එම අවස්ථාවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ වන විට දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 626ක්.
