නිත්තවෙල උණුසුම් කළ ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි තරගය

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමග පැවති පළමු තරගය ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායම ඊයේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී සමත්වුණා.

නවසීලන්ත රග්බි කණ්ඩායමක් මෙලෙස ශ්‍රී ලංකාවේදී රග්බි තරගයකට එක්වුණේ වසර 118කට පසුවයි.
රග්බි ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනාගත් මෙම තරගය ඊයේ පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී.

මෙරට මෙන්ම නවසීලන්ත රග්බි ලෝලීන්ද මෙම තරගය නැරඹීමට පැමිණ සිටි අතර නිත්තවෙල ක්‍රීඩාංගණය ඊයේ ක්‍රීඩාලෝලීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරීගියා.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තරගය ආරම්භ වූ අතර තරග ආරම්භයට පෙර වසර 118 කට පසු මෙරට තරග සංචාරයකට පැමිණි නවසීලන්ත රග්බි කණ්ඩායම සාම්ප්‍රදායික හකා නර්ථනයෙන් නිත්තවෙල ක්‍රීඩාංගණයම දෙවනත් කළා.

අනතුරුව ආරම්භ වූ මෙම තරගයේදී කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත කණ්ඩායම තරග ආරම්භයේ සිටම ආක්‍රමණශීලි තරග රටාවක නිරත වුණා.

මෙම තරගයේ පළමු අර්ධය නිමා වනවිට ලකුණු 26ට 7ක් ලෙස පෙරමුණ ගත්තේ කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත කණ්ඩායමයි.

තරගයේ 18 වැනි මිනිත්තුවේදී දහන් වික්‍රමආරච්චි ශ්‍රී ලංකා පිලේ එකම උත්සාහක දිනුම වාර්තා කළ අතර, එය ගෝලයක් බවට පත් කළ නායක නයිජල් රත්වත්ත ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුවට දඬුවම් පහරක් ද එක් කළා.

දෙවන අර්ධයේදී නවසීලන්තය ලකුණු 24ක් රැස් කළ අතර එම අර්ධයේදි ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 3ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 50ට 10ක් ලෙස ජය ගැනීමට කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

නවසීලන්ත පිල තරගය පුරා උත්සාහක දිනුම් 8ක් වාර්තා කළ අතර ඔවුන් ගෝල දිනුම් 5ක්ද වාර්තා කළා.

ශ්‍රී ලංකාව රැස් ලකුණු 10ට උත්සාහක දිනුමක්, ගෝල දිනුමක් සහ දඩුවම් පහරක් ඇතුළත් වුණා.

දෙපිල අතර දෙවැනි තරගය ලබන 10 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *