කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සිය පළමු ජය වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
ඒ දකුණු අප්‍රිකා කාන්තා පිලට එරෙහි තරගය කඩුලු 5කින් ජය ගනිමින්.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී ලකුණු 235ක් රැස් කිරීමට සමත්වුණා.
අනෙරි ඩර්ක්සන් ලකුණු 61ක් රැස් කළ අතර සුපිරි පන්දු යැවීමක නිරත වූ මල්කි මදාරා ලකුණු 50කට කඩුලු 4ක් සහ සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ දෙව්මි විහන්ගා ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 236ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිලේ මුල් පෙළ පිතිකරුවන් මැනවින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවා.
හසිනි පෙරේරා ලකුණු 42ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කාන්තා පිලට ජය මාවත විවර කළ හර්ෂිතා මාධවී ලකුණු 77ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 61ක් රැස් කළේ සිවුවැනි කඩුල්ලට ලකුණු 128ක සබඳතාවක් ගොඩනගමින්.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සිව්වැනි කඩුල්ලට ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාවද මෙයයි.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 46යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර යමින් තුන්කොන් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කළා.
ශ්‍රී ලංකා කාන්තා පිල දකුණු අප්‍රිකා කාන්තා පිලට එරෙහිව සිය මව්බිමේදී මෙලෙස එක්දින තරග ජයක් වාර්තා කළේ වසර 11කට පසුවයි.
