ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් පන්නයි ?

කාලයක සිට මානව සහ භෞතික සම්පත් අවභාවිත කරමින් ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැයකරන බවට ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු නිලධාරීන්ට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

මේ තත්වය මත ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුවට දන්වා එවා තිබුණා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය කළ විමර්ශන වාර්තාවක් පදනම් කරගනිමින්, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් තහනමකට ලක්කර අභ්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුව ද නිර්දේශ කළා.

නමුත් ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව අපොහොසත් වූ අතර ඒ අනුව පසුගිය නොවැම්බර් 5 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙරට ඔලිම්පික් කමිටුවට දන්වා එවා තිබුණේ, මෙරට ආචාරධර්ම කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියාත්මක වන ලෙසයි.

එසේ නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ඔවුන් අදාළ ලිපිය මගින් අවවාද කොට තිබුණා.

එම ලිපිය නොසළකා හැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉකුත්දා මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන සියලු මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට පියවර ගත්තා.

එවන් පසුබිමක ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *