වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහා තරගය කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර ඊයේ පැවැත්වුණා.
කෙසේ වෙතත් අයහපත් කාළගුණය සහ ක්‍රිකට් බලධාරීන්ගේ වගකීම් විරහිත භාවය නිසා එම තරගය නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි.
වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහා තරගය කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීයි.
කෙසේවෙතත් ඊයේ උදෑසන කණ්ඩායම් දෙකම අවසන් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණියද, තරගය පැවැත්වීමට සුදුසු මට්ටමක ක්‍රීඩාංගණය පැවතුනේ නැහැ.
ඊට හේතුව පෙර දින රාත්‍රියේ සිට වර්ෂාව ඇද හැලුණත් ක්‍රීඩාංගණයේ තණතීරුව සහ ඒ අවට ප්‍රෙද්ශය නිසිලෙස ආවරණය කිරීමට ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය කටයුතු කර නොතිබීමයි.
තරගයට සහභාගි වීම සඳහා කණ්ඩායම්වල ක්‍රීඩකයින් උදෑසන පැමිණෙන අවස්ථාවේදී හදීසියේ ක්‍රියාත්මකවන ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය යුහුසුළුව තණතීරුව සහ ඒ අවට ප්‍රෙද්ශය ආවරණය කිරීමට කටයුතු කරන ආකාරය එක් කණ්ඩායමක පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ගේ ජංගම දුරකතනයේ සටහන්ව තිබූ ආකාරයයි මේ.
කෙසේ වෙතත් ඒ අවස්ථාව වනවිටත් ක්‍රීඩාංගණයේ තණතීරුව සහ ඒ අවට ස්ථාන කිහිපයක මඩ සහිත තත්වයක් පැවතීම හේතුවෙන් තරගය රාජකීය විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නොහැකි බව පාසල් ක්‍රිකට් තරග සංවිධායකයින් සඳහන් කළා.
ඒ අනුව අවසන් මහා තරගය පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩාංගණය වෙත මාරු කිරීමට කටයුතු කරන බව සඳහන් කළත්, ඒ වනවිට වේලාව උදෑසන 10යි 30ත් පසුව තිබුණා.
කෙසේ හෝ කොළඹ සිට මිනිත්තු 45ක පමණ කාලයක් ගෙවා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට පැමිණි අතර ක්‍රීඩාංගණය සූදානම් කර තරගය ආරම්භ කිරීමට සිදුවූයේ පස්වරු 1යි 20ටයි.
එහිදී සමස්ත තරගයම පන්දුවාර 52කට සීමාවූ අතර කාසියේ වාසිය දිනූ ඩී.එස් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා දේවපතිරාජ කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි දේවපතිරාජ කණ්ඩායම පන්දුවාර 52න් පන්දුවාර 45යි පන්දු 4ක් ක්‍රීඩා කරමින් කඩුළු 7ක් දැවී ලකුණු 202ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඩී.එස් කණ්ඩායමට ලකුණු 203ක ඉලක්කය හඹායාම සඳහා ඉතිරිව තිබුණේ පන්දුවාර 6යි පන්දු 2ක් පමණයි.
අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට ඩී.එස් කණ්ඩායම පන්දුවාර 4යි පන්දු 4කදී කිසිවෙක් නොදැවී ලකුණු 42ක් රැස්කරගෙන සිටියා.
ඒ අනුව වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සම ශූරයින් ලෙස කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය නම් කෙරුණා.
කෙසේ වෙතත් කණගාටුවට කරුණ වන්නේ මෙරට ප්‍රධාන පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයක් වෙනුවෙන් අමතර දිනයක් නම් කිරීමට පාසල් ක්‍රිකට් බලධාරීන් අපොහොසත් වීමයි.
එමෙන්ම රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ තත්වය පරීක්ෂා කර එය තරගයට සුදුසු ලෙස සකස් කරන්නේද යන්න සොයා බැලීමටද තරගාවලි සංවිධායකයින් ලෙස කටයුතු කරන පාසල් ක්‍රිකට් සංගමයේ බලධාරීන් අපොහොසත් වීමද කණගාටුවට කරුණක්.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අංකුර ක්‍රීඩකයින් ලෙස ඉදිරියට එන මෙවන් ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු කඩ නොවන ආකාරයට කටයුතු කිරිමට බලධාරීන්ට අනාගතයේදීවත් හැකිවුවහොත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස යහපත් කිරීමට හේතුවක් වනු ඇති.

මේ වගේම වැඩක් 3 වන කොටසේ සිමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට මේ පාසල් ක්‍රිකට් සංගමයේ ලොක්කෝ කළා. මුලින්ම එම තරගය පැවැත්වෙන බව දැනුම් දීලා තිබුනේ, පන්නිපිටිය ධර්මපාල විදුහල ක්‍රීඩාංගණයේදී. ඒත් ඒ වෙනකොටත් එහි දෙදින තරගයක් පැවැත්වෙමින් තිබුණා. ඒ නිසා තරගය හේනේගම මධ්‍ය විදුහල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කළත් ඒ වනවිට එම පිටිය ඒ සඳහා සුදුසු තත්ත්වයේ තිබී නැහැ. පිටිය සුදානම් කරලා තරගය ආරම්භ කර අතර මැද වැස්සෙන් බාධා එල්ල වූ නිසා සම ශුරතාව දෙපිලටම ලබා දෙන්න බලධාරීන් කටයුතු කළා. ඒත් මුලින්ම සැලසුම් කළ පරිදි තරගය පන්නිපිටියේ තිබුණා නම් වැස්සෙන් බාධා නොවී එය තිරණයක් සහිතව අවසන් වෙන්න තිබුණා. පාසල් ක්‍රිකට් බලධාරීන්ගෙ නොසැළිකිලමත් කම නිසා ඒ දරුවන්ව අසාධාරණයක් වුණා.