සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 8ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 1ට බින්දුවක් ලෙස නවසීලන්තය පෙරමුණ ගත්තා.
බේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
තරගයේ සියලු ප්‍රවේපත්‍ර කල් වේලා ඇතිව අලෙවි වීම හේතුවෙන් අද තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන් රැසක් පැමිණ සිටි අතර දෙපිලේ ජාතික ගීත ගායනයට පෙර නවසීලන්ත සම්ප්‍රදායට අනුව දෙපිලම පිළිගත්තේ මෙලෙසින්.
ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ රචීන් රවීන්ද්‍ර සමගින් ටිම් රොබින්සන්.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 20ක සබඳතාවක් ගොඩනැගුවා.
බිනුර ප්‍රනාන්දු සිය දෙවන පන්දුවාරයේදී රොබින්සන් සහ රචීන් රවීද්‍ර දවා ගත්තේ නවසීලන්තයට පීඩනයක් ගෙන දෙමින්.
නැට්
අනතුරුව මාර්ක් චැප්මන් ලකුණු 15කට දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වුණා.
ඩැරල් මිචෙල් ලකුණු 8ක් ලබා සිටියදි දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වුණේ මතීෂ පතිරණ යැවූ එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන්.
ඒ අනුව මිචෙල්ට තවදුරටත් කඩුල්ලෙ රැඳීසිටීමට අවස්ථාව උදා වුණා.
කෙසේ වෙතත් වනිඳු හසරංග සිය දෙවන පන්දුවාරයේදි පිට පිට කඩුලු දෙකක් දවා ගනිමින් නවසීලන්තය දෙසට එල්ල වූ පීඩනය තවත් වැඩි කළා.
තවදුරටත් කඩුල්ලේ රැඳීමට වාසනාව උදා වූ ඩැරල් මිචෙල්, මයිකල් බ්‍රාස්වෙල් සමග එක්ව ශ්‍රී ලංකා පන්දුයවන්නනට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ 6 වන කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනගමින්.
නවසීලන්ත පිල පළමු පන්දුවාර 10දී ලකුණු 65ක් ලබා ගත් අතර අවසන් පන්දුවාර 10දී වේගවත් ඉනිමක් දියත් කළ බ්‍රාස්වෙල් සහ මිචෙල් එම පන්දුවාර 10දී ලකුණු 107ක් රැස් කරමින් නවසීලන්ත ඉනිම ඔසවා තැබුවා.
මතීෂ පතිරණ මෙහිදි දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර ඔහු ක්‍රියාත්මක පන්දුවා 4දී ලකුණු 60ක් ලබා ගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත්වුණා.
ඒ අනුව නවසීලන්ත පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස් කළ අතර ඩැරල් මිචෙල් ලකුණු 62ක් සහ මයිකල් බ්‍රාස්වෙල් ලකුණු 59ක් රැස් කළා.
පන්දුයැවීමේදී බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 173ක ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ කුසල් මෙන්ඩිස් සමගින් පැතුම් නිස්සංක.
ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 121ක සබඳතාවක් ගොඩනගැවේ ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරමින්.
ජාකොබ් ඩෆී කුසල් මෙන්ඩිස් ලකුණු 46කට දවා ගත් අතර අනතුරුව එම පන්දුවාරයේදී පිට පිට තවත් පන්දු දෙකකදී කුසල් ජනිත් සහ කමිඳු මෙන්ඩිස් යළි ක්‍රීඩාගාරයට හරවා යැවූ ජාකොබ් ටෆි ශ්‍රී ලංකා පිලට පීඩනය එල්ල කළා.
ශ්‍රී ලංකා පිලේ කඩුලු 7ක් ලකුණු 43ක් තුළ දවා ගත් නවසීලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම සුනු විසුනු කළේ තරගයේ වැඩි වාසි අත්කර ගනිමින්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවි රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණූ 164ක් පමණයි.
මෙම ජයත් සමග නවසීලන්තය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තා.
