ක්‍රීඩා සංගම් 4ක ලියාපදිංචිය අත්හිටුවයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා සංගම් හතරක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ රාත්‍රීයේ නිකුත් කරනු ලැබුවා.

අදාළ සංගම් වල නිලවරණ නිසි පරිදි පැවැත්වීම සදහා මෙම පියවර ගත් බවත්, කිසිදු ක්‍රීඩා සම්මේලනයක් සඳහා අතුරු කමිටු පත් නොකරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ නිකුත් කළා.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය යන සංගම් හතර මෙලෙස අත්හිටුවා තිබෙනවා.

ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ තාවකාලිකව අත්හිටුවූ සංගම්වල කටයුතු කරගෙන යාම සඳහා නිසි බලධාරීයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශේමාල් ප්‍රනාන්දු මහතා පත්කළ බවයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය සඳහා නාම යෝජනා කැඳවන අවස්ථාවේදී බලපැවැත්වූ රෙගුලාසි 2024 මැයි 03 වැනිදායින් අහෝසි වූ බැවින් නව රෙගුලාසි යටතේ නාම යෝජනා කැඳවා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පවත්වන බව අදාළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිල කාලය 2024 මැයි 31 වන දින අවසන් වන අතර ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්ථාවට සිදු කිරීමට නියමිත සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව එහි මහා සංගමය පැවැත්වීමට මෙම තීරණය ගත් බවත් ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය අත්හිටුවා ඇත්තේ ඔවුන්ගේ නිලවරණය පැවැත්වීමට කල් දිගුවක් ඉල්ලා සිටීම නිසා බවත් ඒ වෙනුවෙන් නිසි බලධාරියකු පත් කර ඇති බවත් සඳහන්.

එසේම ශ්‍රී ලංකා පාපැදි සංගමය නිලවරණ කමිටුව පත් කිරීම සදහා විශේෂ මහ සභා රැස්වීම කැඳවීමට අපොහොසත් වූ හෙයින් එම කටයුතු සඳහාද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස පත් කළ බව ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *