RCB පිලේ IPL සිහිනය මෙවරත් බොඳවෙයි

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට රෝයල් චැලේන්ජර්ස් බෙංගලුරු කණ්ඩායමට ඊයේ සිදු වුණා.

ඒ අවසන් තරග වටයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 4කින් පරාජය වීමත් සමගින්.

මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් තරග වටයේ දෙවන තරගය ඊයේ අහමදාබාද් නුවරදි පැවැත්වුණේ රෝයල් චැලේන්ජර්ස් බෙංගලුරු සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බෙංගලුරු කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස් කිරීමට සමත්වුණා.

රාජට් පතිදාර් ලකුණු 34ක් සහ විරාත් කෝලි ලකුණු 33ක් රැස් කළ අතර පන්දුයැවීමේදි ආවේෂ් ඛාන් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 173ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසුකර ගියා.

යසස්වි ජයිස්වාල් ලකුණු 45ක් රැස් කළ අතර රියන් පරාග් ලකුණු 36ක් සහ සිමර්න් හෙට්මයර් ලකුණු 26ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගය කඩුලු 4කින් ජය ගත් රාජස්ථාන් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු රඳවා ගත්තා.

මෙම තරගය පරාජය වූ රෝයල් චැලේන්ජර්ස් බෙංගලුරු කණ්ඩායමට මෙවරද සිදු වුණේ අවසන් වටයේදි තරගාවලියෙන් ඉවත්වීමටයි.

මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසකම් ලබන දෙවන කණ්ඩායම තෝරන තීරණාත්මක තරගය රාජස්ථාන් රෝයල්ස් සාිහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර හෙට චෙන්නායි හිදි පැවැත්වීමට නියමිතයි.

එම තරගය ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව අයි පී එල් කිරුළ වෙනුවෙන් තරග වදිනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *