ශ්‍රී ලංකා පාපන්දු පිලට වසර 3කට පසු පාපන්දු ජයක්

ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයට නව බලාපොරොත්තුවක් එක් කරමින් වසර තුනකට අධික කාලයකට පසු ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පළමු වරට මෙරටදී පවත්වනු ලැබූ FIFA Series තරගාවලියේ භූතානය සමග පැවති තරගය ගෝල 2ට 0ක් ලෙස ජය ගනිමින්.

කොළඹ තුරඟ තරග පිටියේදී පැවති ශ්‍රී ලංකා – භූතාන තරගයේ පළමු අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් දෙවැනි අර්ධය ආරම්භ වී පළමු විනාඩියේම ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ගෝලය වාර්තා කිරීමට ඩිලන් ද සිල්වා සමත් වූයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ මාවත විවිර කරමින්.

අනතුරුව තරගයේ 54වැනි විනාඩියේදී ඔලිවර් කේලාට් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ස්ථිර කළා.

තරගය අවසන්වනතුරු තරගයේ ආධිපත්‍ය තමන් සතු කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගත්තේ ගෝල 2ට 0ක් ලෙසයි.

මෙම ජයග්‍රහණය වසර දෙකකට පමණ පසුව ශ්‍රී ලංකාව ලැබූ පළමු ජාත්‍යන්තර පාපන්දු තරග ජයග්‍රහණය ලෙස ද වාර්තා අතරට එක්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමක් භූතානයට එරෙහිව පාපන්දු තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ වසර දහයකට පසුව වීමත් කැපී පෙනෙනවා.

ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණි ගතකිරීම් හි 204 ස්ථානයේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ භූතානය ශ්‍රේණිගත කිරීම් හි රැඳෙන්නේ 184 වැනි ස්ථානයේ යි.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමෙන් බිහිවු විශිෂ්ට ක්‍රිඩකයෙකු වන මොහොමඩ් ෆසාල් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදුන්නා.

වසර 16ක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් ෆසාල්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමුදුන්නේ මේ ආකාරයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *