පාසල් ක්‍රිකට් සංගමයට වාරණයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ 2023-24 දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ එක් කාණ්ඩයක ක්‍රීඩා කළ පාසැල් හතරක් පහත දැමීම සඳහා සංවිධාන
කර ඇති පහත දැමීමේ ක්‍රමවේදය තාවකාලිකව වළක්වමින්.

ශ්‍රි ලංකා පාසැල් ක්‍රිකට් සංගමය මෙවර 2023-2024 දෙදින පාසල් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් හතරක් පහත හෙලීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාවලිය අසාධාරණ සහ දෝශ සහිත බවට චෝදනා කරමින් පාසැල් 05ක් විසින් පාසල් ක්‍රිකට් සංගමයට එරෙහිව පසුගියදා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළා.

කොළඹ ආනන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය යන පාසල් එලෙස එම නඩුව ගොනුකර තිබුණා.

අදාළ පාසල් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙතෙක් පැවති ආකාරයට එක් තරඟාවලියකදී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් පමණක් පහත දැමීම සහ ඒ සඳහා ලකුණු සටහනේ අවසානයට සිටින කණ්ඩායම් දෙක තොරාගත යුතු බවට වන තීන්දුවක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ 2023-24 තරඟාවලියේඑක් කාණ්ඩයක ක්‍රීඩා කළ පාසැල් හතරක් පහත දැමීම සඳහා සංවිධාන කර ඇති පහත දැමීමේ ක්‍රමවේදය තාවකාලිකව වළක්වමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.

අදාළ වාරණ නියෝගය APRIL 8 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර නඩුව එදින යළි කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *