ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් 2018 වසරට පසු ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ තරගයක් අද පරාජයට පත්වුණා.
අද පැවති මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ජොකොවිච් පරාජයට පත්වුණේ 22 හැවිරිදි ඉතාලි ක්‍රීඩක ජැනික් සිනර් හමුවේයි.
මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ඉතාලියේ ජැනික් සිනර් අතර පැවැත්වුණා.
පැය 3කුත් මිනිත්තු 22ක් පුරා පැවති තරගයේ පළමු වට දෙක ලකුණු 6ට 1ක් සහ 6ට 2ක් ලෙස ජැනික් සිනර් පහසුවෙන් ජයගත්තා.
ඉතා තියුණු මුහුණුවරක් ගත් තුන්වන වටය දැඩි සටනකින් පසු ලකුණු 7ට 6ක් ලෙස ජයගත්තේ නොවැක් ජොකොවිච්.
නමුත් සිව්වන වටයේදීත් ප්‍රබල ක්‍රීඩක ජොකොවිච් අභිබවා ගිය සිනර් ලකුණු 6ට3 ක් ලෙස එම වටය ජයගත්තේ සමස්ත තරගයේ වට 3ට 1ක් ලෙස තමන් සතු කරගනිමින්.
ඒ අනුව පළමු වරට ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලියේ ජැනික් සිනර් සමත් වුණා.
එම පරාජයත් සමග නොවැක් ජොකොවිච්ට 11වැනි වතාවටත් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලිය ජයගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියා.
එමෙන්ම ජොකොවිච් අද තරගය පරාජය වනතෙක් 2018 වසරේ සිට ඔස්ට්‍රේලියා ටෙනිස් තරගාවලියේදී අඛණ්ඩව තරග 33ක් ජයගෙන තිබුණා.
ඒ අනුව ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා වන නොවැක් ජොකොවිච්ගේ මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් කිරුළ හිමිකරගැනීමේ බලාපොරොත්තුව බිඳවැටුණා.
