නවසීලන්තය රග්බි ලෝක කුසලාන අවසන් තරගයට

පස්වන වරටත් ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත් වුණා.ඒ මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද අළුයම පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව පරාජයට පත් කරමින්.

ප්‍රංශයේ පැරිස් නුවරදී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල නවසීලන්තයට කිසිඳු අභියෝගයක් එල්ල කිරීමට ආර්ජන්ටිනාවට හැකිවූයේ නැහැ.පළමු අර්ධයේදී නවසීලන්තය උත්සාහක දිනුම් 3ක්,ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිද්දී, ආර්ජන්ටිනාවට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණයි.ඒ අනුව ලකුණු 20ට 6ක් ලෙස නවසීලන්තය පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සමත්වුණා.

දෙවන අර්ධයේදීත් විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නිරත වූ නවසීලන්තය උත්සාහක දිනුම් 4ක් සහ ප්‍රවර්ථන දෙකක් සාර්ථක කර ගනිමින් තවත් ලකුණු 24ක් රැස්කළා.දෙවන අර්ධයේදී නවසීලන්තය එල්ල කළ පීඩනය හමුවේ ආර්ජන්ටිනාවට එක් ලකුණක්වත් රැස්කිරීමට හැකිවූයේ නැහැ.

ඒ අනුව ලකුණු 44ට 6ක් ලෙස පහසුවෙන් තරගය ජයගත් නවසීලන්තය අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගත්තා.නවසීලන්තය මීටපෙර අවස්ථා 4කදී රග්බි ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ඇති අතර අවස්ථා 3කදී රග්බි ලෝක කුසලානය හිමිකරගෙන තිබෙනවා.

මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර හෙට අළුයම පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *