මැතිව්ස් සහ චමීර නෙදර්ලන්ත තරගයට?

ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් අද ඉන්දියාවේ ලක්නව් නුවරට ලඟා වුණා.ඒ මෙවර එක්දින ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සඳහා අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙක් ලෙස එක්වීමටයි.

ඔවුන් දෙදෙනා අද ශ්‍රී ලංකා සංචිතය සමග එක්වූ නමුත් නෙදර්ලන්ත තරගයට පෙර පැවති අවසන් පුහුණු සැසියට ඔවුන් සහභාගී වුයේ නැහැ.මේ වනවිට බොහෝදෙනෙක්ට ගැටලුවක්ව ඇති කාරණය වන්නේ මැතිව්ස් සහ චමීර හෙට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරයිද යන්නයි.

ඔවුන් දෙදෙනාට හෙට තරගය සඳහා ක්‍රීඩාකළ නොහැකියි.ඊට හේතුව ඔවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කරන 15 දෙනෙක්ගෙන් සමන්විත ප්‍රධාන සංචිතයට ඇතුලත් කර නොතිබීමයි.ඒ අනුව මැතිව්ස් සහ චමීර තරග ක්‍රීඩා කිරීමට නම් ඔවුන් ප්‍රධාන සංචිතයට ඇතුලත් විය යුතුයි.අතිරේක ක්‍රීඩකයෙක්ට ප්‍රධාන සංචිතයට ඇතුලත් විය හැක්කේ ප්‍රධාන සංචිතයේ සිටින ක්‍රීඩකයෙක් අබාධයකට ලක්වීම හෝ වෙනත් පිළිගත හැකි හේතුවක් ඇත්නම් පමණක් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරගාවලිය ආරම්භයේදීම සඳහන් කළා.එම කරුණු සැලකීමේදී මැතිව්ස්ට සහ චමීරට ප්‍රධාන සංචිතයේ සිටින ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වන තුරු එම සංචිතයට එක්වීමට අවස්ථාව නැහැ.

කෙසේවෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් පැවසුවේ මතිෂ පතිරණ මේ වනවිට ආබාධයකට ගොදුරුව සිටින බැවින් ඔහුට තරගාවලිය අහිමිවුවහොත් මැතිව්ස් හෝ චමීර සංචිතයට එක්කිරීම පිලිබඳ සලක බලන බවයි.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය හෙට ලක්නව්හි ඒකනා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *