ලක්නව් හිදී පැවත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.කෙසේ වෙතත් නෙදර්ලන්ත නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කිරීමට මුල්පෙළ සහ මැදපෙළ පිතිකරුවන් අසමත් වූ අතර ඔවුන්ගේ පළමු කඩුළු 6 දැවීගියේ ලකුණු 91ක් තුළයි.
නමුත් හත්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ සිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙච්ට් සහ ලෝගන් වෑන් බීක් එක්ව ලකුණු 130ක සබඳතාවක් ගොඩනගමින් බිඳවැටී තිබූ නෙදර්ලන්ත ඉනිම ශක්තිමත් කළා.ඔවුන් දෙදෙනා ගොඩනැගූ සබඳතාව එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවන් දෙදෙනෙක් හත්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාවයි.එමෙන්ම නෙදර්ලන්ත පිතිකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාව ලෙසද මෙය වාර්තා අතරට එක්වුණා.
සිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙච්ට් සිය මංගල අර්ධ ශතකයද සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 70ක්.ලෝගන් වෑන්ද බික්ද අද සිය මංගල එක්දින අර්ධ ශතකය සමගින් ලකුණු 59ක් රැස්කළා.ඒ අනුව නෙදර්ලන්තය පන්දුවාර 49යි පන්දු 5කදී සියළුදෙනා දැවී ලකුණු 262ක් රැස්කළේ ඉනිමේ මැදභාගයේ සිට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීමෙන් ප්‍රයෝජන ගනිමින්.
එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් නිපන්දු සහ වයිඩ් පන්දු ඇතුළුව අතිරේක ලකුණු 33ක් ලබාදීම කැපීපෙණුනා.පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුසංක ලකුණු 49කට කඩුළු 4ක් දවාගත්තා.
