ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ තහනම ඉවත් වීමත් සමඟ Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයේ 2023/24 වසර සඳහා වන අදියර දෙසැම්බර් මස 01 දා ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මෙවර අන්තර් සමාජ රග්බි ලීගය පිළිබඳ සහ කණ්ඩායම් දැනුවත් කිරීම මාධ්‍ය හමුවක් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්ට් වයිට් ශාලවේ දී පැවැත්වුණා.
තරගාවලිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ Havelock ක්‍රීඩා සමාජය පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.
අවසන් වසර කිහිපයේ ලීග් රග්බි කිරුළෙහි හිමිකරුවන් වන මහනුවර ක්‍රීඩා සමාජය පළමු සතියේ අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ නාවික හමුදා කණ්ඩායමයි.
මෙම මාධ්‍ය හමුව සඳහා සියලුම කණ්ඩායම් වල නායකයින් සහ තරගාවලියේ තීරකයින් වන විනිසුරුවරයන්ගේ සංගමයේ සභාපති සහ කණ්ඩායම් කළමනාකරුවන් එක්ව සිටියා.
මෙම තරගාවලිය ආරම්භ වීමට එයට සමගාමී ලෙස CR & FC, ගුවන් හමුදා, යුද හමුදා සහ නාවික හමුදා කාන්තා කණ්ඩායම් සහභාගී කර ගනිමින් කාන්තා තරගාවලියක් පැවැත්වෙනු ඇති.
එමෙන්ම තරගාවලිය තුළ විනිසුරුවන් ලබා දෙන තීරණ සමාලෝචනය සඳහා තවත් කමිටුවක් පත් කරන බව ද ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ප්‍රකාශ කළා.
තරගාවලියේ පළමු අදියර දෙසැම්බර් මස 17 අවසන් වන අතර 17 සිට 29 දක්වා ලබා දෙන විවේකයකින් පසු තරගාවලියේ දෙවැනි අදියර ජනවාරි 21 දක්වා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ තරග බොහෝ විට සවස 3.45ට ආරම්භ වීමට සැලසුම් කර තිබෙන අතර Havelock ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරග පමණක් විදුලි ආලෝක තත්වය යටතේ සවස 6.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මූලික වටයේ දී කණ්ඩායම් සියල්ල අනෙක් කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිත අතර මුල් ස්ථාන හතර ලබා ගන්නා කණ්ඩායම් කුසලානය සඳහාත්, අවසන් ස්ථාන හතර ලබා ගන්නා කණ්ඩායම් පලිහ සඳහාත් තරග වැදීමට නියමිතයි.
