සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය අවසන් පන්දුවාරයේදී ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත්වුණා.
ඒ අනුව කඩුල්ලක තියුණු ජයක වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට එකක් ලෙස ජය ගත්තා.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති මෙම තීරණාත්මක තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස් කිරීමට සමත්වුණා.
වී කේ විනිත් ලකුණු 131ක් රැස් කළ අතර සෙත්මික සෙනෙවිරත්න ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තා.
ලකුණු 291 ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මුලු කඩුලු 3 ලකුණු 52ක් තුළ බිඳ වැටුණා.
කෙසේ වෙතත් සටන අත්නොහල චාමික හීනටිගල ඇතුළු මැදපෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා යොවුන් පිල ජය මාවත විවර කළා.
තියුණු අවසානයක් සනිටුහන් කළ මෙම තරගය අවසන් පන්දුව තෙක් ඇදීගිය අතර අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා යොවුන් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 11ක් ලබා ගත යුතුව තිබූ අතර අතැතිව තිබුණේ එක් කඩුල්ලයි.
අවසන් පන්දුවාරයේදී එම ලකුණු 11 සම්පූර්ණ කළ චාමික හීනටිගල ශ්‍රී ලංකා යොවුන් පිලට තියුණු ජයග්‍රහණයක් අත්කර දුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩාය නියමිත පන්දුවාර 50දී කඩුලු 9ක් දැවි ලකුණු 291ක් රැස් කරමින් තරගය ජය ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය චාමික හීනටිගල නොදැවී ලකුණු 84ක් රැස්කළා.
මෙම ජයත් සමග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට එකක් ලෙස ජයහිමිකර ගත්තා.
