කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගීවූ පළමු තරගයෙන්ලකුණු 87ක පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.
ඒ සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර කෙටි සමාරම්භක උත්සවයක් පැවැත්වුනේ මෙලෙසි්න.
කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණේ බර්මින්ග්හැම්හීදියි.
එම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා
ඒ අනුව එංගලන්ත ඉනිම අරඹමින් පිටියට පිවිසියේ එමි ජෝන්ස් සහ ඩැනි වයිට්.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් මනාව පාලනය කරමින් ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 135ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා.
එමි ජෝන්ස් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 7 වැනි අර්ධ ශතකය සමගින් ලකුණු 53ක් රැස්කරගෙන සිටියදි දවාගැනීමට මල්කි මදාරා සමත්වුණා.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ඩැනි වයිට් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ තුන්වන ශතකය වාර්තා කළා.
ඒ අනුව එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 219ක්
ලකුණු 220ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවුණේ ලකුණු 132ක් පමණයි.
නිලක්ෂි සිල්වා ලකුණු 39ක් රැස්කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක් රැස්කළා.
පන්දු යැවීමේදී ෆ්‍රේයා කේම්ප් ලකුණු 22 ට කඩුලු 4ක් දවාගත්තා.
ඒ අනුව පළමු තරගයෙන් ලකුණු 87ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්වුණා.
